Friday, October 25, 2024
Follow Us
රුපියල් කෝටි 68,000ක ලොතරැයි තෑග්ග

ලොතරැයි ඉතිහාසයේ ලෝක වාර්තාවක්


ඇමරිකාවේ සුප්‍රකට පවර්බෝල් (Powerball) ජැක්පොට් ලොතරැයියේ තෑගි මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ලංකා මුදලින් රුපියල් බිලියන 680කට (කෝටි 68,000ක්)ආසන්න වන්නකි. මෙය ලෝක වාර්තාවක් ලෙස සැලකේ. තෑගි මුදල මේ තරම් ඉහළ අගයකට ළඟා වූයේ පසුගිය සෙනසුරාදා කළ දිනුම් ඇදීමේදී ද ජයග්‍රාහකයකු වාර්තා නොවීම නිසාය. පසුගිය මාස තුන තුළ සිදු කළ දිනුම් ඇදීම් 39කදීම ජයග්‍රාහකයන් වාර්තා වී නොතිබිණි. මෙම ලොතරැයි ඉතිහාසයේ මෙයට පෙර වාර්තා වූ ඉහළම තෑගි මුදල වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.59කි. එම දිනුම් ඇදීම සිදු වූයේ 2016 වසරේය. ජයග්‍රාහකයන් තිදෙනෙකු අතර එවර තෑගි මුදල බෙදී ගොස් තිබිණි.

මෙවර අංක 6ම ගැලපුණු ටිකට්පත් නොමැති වුවත් අංක 5ක් ගැලපුණු ටිකට් පත් 16ක් තිබූ බව සඳහන් වේ. එම ජයග්‍රාහකයන්ට ඇමරිකානු ඩොලර් මිලියනය බැගින් හිමි වනු ඇත. පවර්බෝල් ලොතරැයියේ දී පළමු තෑග්ග හිමි කරගන්නා ජයග්‍රාහකයකුට එම තෑගි මුදල ලබා ගත හැකි ක්‍රම දෙකක් වේ. එක් ක්‍රමයක් වන්නේ එකවර එය ලබා ගැනීමයි. එහිදී සම්පූර්ණ මුදල හිමි වන්නේ නැත. සෙනසුරාදා ජයග්‍රාහකයකු සිටියේ නම් එම පුද්ගලයාට ඇමරිකානු ඩොලර් මිලියන 929ක් මේ ආකාරයෙන් ලබා ගැනීමට හැකියාව තිබිණි. එසේ නැතිනම් වසර 29ක කාලයක් තුළ කොටස් වශයෙන් එම සම්පූර්ණ මුදල ලබා ගැනීමට ද හැකියාව තිබේ. නමුත් බොහෝ ජයග්‍රාහකයන් එකවර මුදලක් ලබා ගැනීමට කැමැත්ත දක්වන බව සඳහන් වේ.

Aruna