Saturday, October 26, 2024
Follow Us
මහ කන්නයට බණ්ඩි පොහොර මිලදී ගැනීමට ADBයෙන් රුපියල් කෝටි 1000ක්

මෙවර මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට සහන සැළසීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

විශේෂයෙන් මෙවර මහ කන්නයේදී බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP) පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40කි.

2021 මහ කන්නයෙන් පසු වී වගාවට බණ්ඩි පොහොර ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් සෑම වී වගා කරන ගොවියෙකුටම අවශ්‍ය බණ්ඩි පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීම් බාරව කටයුතු කරන සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ලෝක වෙළෙද පොළේ MOP පොහොර ඉතා මිල අධික බැවින් ගොවීන්ට මෙම පොහොර මිලදී ගැනීමේදී ඔවුන්ට කිසියම් සහනයක් සැලසීමේ පියවරක් අනුගමනය කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් වී වගා කරන ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් කෝටි 1000ක මුදලක් ලබාදීමට නියමිත බැවින් එම මුදල යොදා ගනිමින් සෑම වී වගා කරන ගොවියෙකුටම බණ්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා රුපියල් 10,000ක සහන මුදලක් බැගින් ලබාදීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

LNW