Saturday, October 26, 2024
Follow Us
වෙන්ව යන පෙම්වතියට 90 පාරක් පිහියෙන් ඇනලා

පෙම්වතියගේ සිරුර ඇඳ මත තබා පෙම්වතා දෛනික වැඩවලට ගිහින්


අන්තර්ජාලය හරහා හඳුනාගත් තරුණියක සමග ආදර සම්බන්ධයක් ඇති කරගෙන පසුව ඇය කෲර ලෙස මරා දැමූ පුද්ගලයකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන තිබේ. ජැක් සෙප්ල් නමැති 23 හැවිරිදි තරුණයකු අතින් මේ ආකාරයෙන් ඝාතනයට ලක්ව තිබුණේ ඈෂ්ලි වැඩ්ස්වර්ත් නමැති 19 හැවිරිදි තරුණියකි.

ජැක් සෙප්ල් බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අතර ඈෂ්ලි කැනේඩියානු ජාතික තරුණියක බව සඳහන් වේ. ජැක් සිය පෙම්වතිය මරා දමා තිබුණේ ගෙල සිරකිරීමෙන් සහ පිහියකින් ඇනීමෙනි. ඇයගේ සිරුරේ පිහි ඇනුම් තුවාල 90ක් පමණ දක්නට ලැබුණු බව විමර්ශනවලදී හෙළි වී තිබිණි.

තරුණ තරුණියන් හමුවන වෙබ් අඩවියක් හරහා ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන තිබුණේ මෙයට වසර 7 කට පමණ පෙරය. ඒ වනවිට ඈෂ්ලිගේ වයස අවුරුදු 12ක් විය. දෙරටක සිට එකිනෙකා සමග සබඳතා පැවැත් වූ ඔවුන් පළමු වරට එකිනෙකා මුහුණට මුහුණ මුණ ගැසී තිබුණේ පසුගිය වසරේය. ඒ කැනඩාවේ වර්නන් ප්‍රදේශයේ සිය මව්පියන් සමග ජීවත් වූ ඈෂ්ලි බ්‍රිතාන්‍යයට පැමිණීමත් සමගය.

බ්‍රිතාන්‍යය තුළ ගත කළ මුල් කාලය ඈෂ්ලි සතුටින් ගත කර ඇති බව ඇය සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති තොරතුරුවලින් අනාවරණය වේ. සෙප්ල් සමග විනෝද ගමන් ගිය ආකාරය දැක්වෙන ඡායාරූප ද මේ අතර දක්නට ලැබේ. කෙසේ නමුත් කාලය ගතවත්ම මේ දෙදෙනා අතර ප්‍රශ්න ඇතිව තිබූ බවක් පෙනේ.

මේ කාලයේ ඈෂ්ලි නැවතත් කැනඩාව බලා යෑමට තීරණය කර තිබූ බවක් සඳහන් වේ. විමර්ශනවලදී අනාවරණය වී තිබූ ආකාරයට සෙප්ල් ඇය ඝාතනය කර තිබුණේ ඒ නිසා ඇති වූ දැඩි කෝපය නිසාය. ඔහු ඈෂ්ලි මරා දමා ඇත්තේ ඔවුන් දෙදෙනා ජීවත් වූ නිවස තුළදීය.

‘ඔහු ඇයගේ ගෙල මිරිකා ඉන් පසු දිගින් දිගටම ඇයට පිහියකින් ද ඇන තිබෙනවා. ඉන්පසු ඇගේ සිරුර ඔවුන්ගේ ඇඳ මත තිබෙන්නට හැර ඔහු තමාගේ දෛනික කටයුතුවල නිරත වී තිබුණා’ යැයි මේ පිළිබඳ නඩු විභාගයට සම්බන්ධ නීතිඥයකු මාධ්‍ය සමග පවසා තිබිණි. පොලිසිය එදින සවස 4.15ට පමණ දොර කඩා නිවසට ඇතුළු වෙද්දී සෙප්ල් අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ සොහොයුරිය සමග කතා කරමින් සිට ඇත. සෙප්ල් ඇයට ඈෂ්ලිගේ සිරුර පෙන්වමින් සිට ඇති බවක් ද වාර්තා වේ. පොලිසිය ඔහුගෙන් මෙම සිද්ධිය ගැන විමසද්දී සෙප්ල් පවසා තිබුණේ තමා උමතුභාවයකට පත් වූ බවයි. ඒ ගැන තමා කනගාටු වන බවද ඔහු පවසා තිබිණි.

සෙප්ල් ඈෂ්ලි සමග අන්තර්ජාලය ඔස්සේ සබඳතා පැවැත්වූ කාලයේ ඔහු වෙනත් සබඳතා ද පවත්වා ඇති බවක් අනාවරණය වී තිබේ. සිය දියණිය ඔහු හමුවීමට බ්‍රිතාන්‍යයට යෑමට සූදානම් වූ අවස්ථාවේ තමා ඊට එතරම් කැමැති නොවූ බව ඈෂ්ලිගේ මව ක්‍රිස්ටි ජෙන්ඩ්‍රන් පවසා තිබුණාය. සෙප්ල් සිය පෙම්වතියන්ට ප්‍රචණ්ඩ ආකාරයෙන් සැලකූ බවට සහ ඔවුන් මත දැඩි පාලනයක් පැවැත්වීමට උත්සාහ ගත් බවට තොරතුරු ඇතැයිද සඳහන්ය. මෙයට පෙරද කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් සෙප්ල්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත්ව තිබී ඇත.

කෙසේ හෝ වේවා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාස කිහිපයක් පුරා පැවැති නඩු විභාගයකින් පසු ජැක් සෙප්ල්ට වසර 23 ක සහ මාස 6ක සිර දඬුවමක් නියම කර ඇත.

Aruna