ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් හිමිවන බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට තවත් කරුණු කිහිපයක් ඇතුළත් කර මෙවර යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනීවාහිදී ගෙන ආ නව යෝජනාව සම්මත වුණේ වැඩි ඡන්ද 13කින්. යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 07ක් හිමිවුණා.
යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි සාමාජික රටවල් ගණන 20ක්.
එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් රටවල් අතරට අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය ද අයත්. බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්ථානය, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා. ඡන්ද විමසීමේදී ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 20ක් සිය මතය පළ කිරීමෙන් වැළකී සිටියා.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකාව දැන් සිදු කළ යුත්තේ කුමක්ද? මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා.
හමුදාකරණය ඉහළයාම, රාජ්‍ය පාලනය විනිවිදභාවයකින් තොරවීම, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා දඩුවම් නොපැමිණවීම වැනි කරුණු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ ඇතුළත්. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව සහ තිරසර සාමය හා සංවර්ධනයට ප්‍රධාන බාධකය වී ඇති බවයි යෝජනාවෙන් දක්වා ඇත්තේ. මෙරට මානව හිමිකම් තත්ත්වය කෙරෙහි දූෂණය දැඩි අහිතකර බලපෑමක් ඇතිකර ඇති බව ද එහි සඳහන්.
එමෙන්ම මෙරට වර්තමාන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේදී ඊට මුල්වූ වර්තමාන හා හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත්, එහිදී ස්වාධීන, අපක්ෂපාති සහ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් යෝජනා කර තිබෙනවා.
Neth