Saturday, October 26, 2024
Follow Us
ගත්ත මුළු ණයෙන් 52%ක් චීනයෙන්

19.5%ක් ජපානයට


අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු ණය ප්‍රමාණයෙන් 52%ක්ම හිමිව ඇත්තේ චීනයට බව අනාවරණය වේ.

පසුගිය සිකුරාදා (23දා) ශ්‍රී ලංකාවේ ණයහිමියන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එකාබද්ධව පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් සම්පාදනය කළ විශේෂ වාර්තාව ඔස්සේ අනාවරණය සිදුකර ඇත.

ඒ අනුව චීනයට හිමි ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7324කි.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව විසින් මේ මොහොතේ ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු බවට යෝජිත ද්විපාර්ශ්වික කාණ්ඩයේ ණයහිමියන් (චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල්) සතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 13.8කි.

ඒ අතුරින් මධ්‍යම රජයේ සෘජු නිරාවරණය (සෘජු ණය) ප්‍රමාණය ඩොලර් බිලියන 9.9ක් වන අතර, වක්‍ර හෙවත් රාජ්‍ය ව්‍යවසායන් වෙත ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.2කි.

මෙම සමස්ත ණය ප්‍රමාණයෙන් 52%ක් තරම් ඉහල අගයක් චීනයට හිමිවන විට, ණයහිමියන් අතර දෙවන ස්ථානය දරන්නේ 19.5%ක් හිමි ජපානයයි. තුන්වන ස්ථානය දරන ඉන්දියාවට හිමිව ඇත්තේ ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු ණයවලින් 12%ක ප්‍රතිශතයකි. මීට අමතරව මෙරට අනෙක් ප්‍රධානම ද්වීපාර්ශ්වික ණයහිමියන් වන්නේ පිළිවෙළින්, ප්‍රංශය,දකුණු කොරියාව, ඔස්ට්‍රියාව,ජර්මනිය, එක්සත් රාජධානිය, සෞදි අරාබිය සහ එක්සත් ජනපදයයි.

මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව මෙරට ණයහිමියන් කනස්සල්ල පළකර ඇත. විශේෂයෙන්, ශ්‍රී ලංකාව සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන බවට නිවේදනය කර ඇති සාර්ව ආර්ථික ඉලක්ක සපුරාගැනීමට පවතින හැකියාව පිළිබඳව පසුගිය සිකුරාදා (23දා) පැවැති විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ඇතැම් ණයහිමියන් කනස්සල්ල පළකර ඇතැයි වාර්තා අනාවරණය කරයි. ශ්‍රී ලංකා රජය විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව මෙරට ණයහිමියන් දැනුවත් කිරීම (සකස්කර ඇති මාර්ග සිතියම එළිදැක්වීම) වෙනුවෙනි. මෙම සාකච්ඡාව ජනමාධ්‍ය වෙත විවෘත නොවීය.

Aruna