Saturday, October 26, 2024
Follow Us
පිදුරු භාවිතකර ජෛව ඉන්ධන නිපදවයි

පිදුරුවලින් අමතර ආදායමක් උපයා ගන්න අවස්ථාවක්


පිදුරු භාවිත කර ජෛව ඉන්ධන නිෂ්පාදනය කෙරෙන ‘දෙවන පරම්පරාවේ’ (2G) එතනෝල් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් හර්යානා ප්‍රාන්තයේ පානිපත්හිදී මෙම කම්හල විවෘත කරන ලදී. ඉන්දියාව යනු වී සහ තිරිඟු බහුලව නිෂ්පාදනය කරන රටකි. එහෙත් බීජ වෙන්කර ගැනීමෙන් අනතුරුව එම අස්වනුවල පිදුරු කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගොවීහු ගිනි තබති.

මෙලෙස ගොවීන් විසින් බැහැර කරන පිදුරු භාවිතයෙන් ඉහළ තාක්ෂණය යොදාගෙන මෙම දෙවන පරම්පරාවේ (2G) එතනෝල් කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත. කම්හල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම ව්‍යාපෘතිය මගින් ගොවීන්ට මෙතෙක් බරක් වූ පිදුරුවලින් අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවය. එමගින් පරිසර හානිය අවම කිරීමට ගොවීන්ගේ දායකත්වය ඉහළ නංවන බවත් හෙතෙම පවසා තිබේ.

එතනෝල් විවිධ ශාක ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ හැකි පුනර්ජනනීය (ජෛව) ඉන්ධන ප්‍රභේදයක් ලෙස ඉන්දියාව භාවිත කරනු ලබයි. ඔක්ටේන් ප්‍රමාණය වැඩිකිරීමට සහ කාබන්ඩයොක්සයිඩ් හා අනෙකුත් දුම් විමෝචනය අඩු කිරීම සඳහා පෙට්‍රල් සමග මිශ්‍රකාරකයක් ලෙසද එතනෝල් භාවිත කරනු ලබයි.

Aruna