Sunday, October 27, 2024
Follow Us
රැජන අද සමුගනී

ලන්ඩනයට දැවැන්ත ආරක්ෂාවක්


දේව මෙහෙය ඇරැඹෙන්නේ ලංකා වේලාවෙන් ප.ව. 3.30ට
බ්‍රිතාන්‍ය මහ රැජනගේ අවමගුල් උත්සවය අද (19 වැනිදා) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර දේව මෙහෙය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් සවස 3.30ටය. අද උදෑසන වනතෙක් දේහය තැන්පත් කර තිබූ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට එය දේවස්ථානය දක්වා රැගෙන එන්නේ කාලතුවක්කු වාහනයක තැන්පත් කරය. මෙය ඇදගෙන යනු ලබන්නේ රාජකීය නාවුක හමුදාවේ සෙබළුන් 142 දෙනෙකු විසිනි. මෙම පෙරහර වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටත්වන්නේ ලංකාවේ වේලාවෙන් පස්වරු 3.15ට පමණය.

සියලු කටයුතු රෑ 12ට අවසන්
වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දේව මෙහෙය පැයකට ආසන්න කාලයක් පැවැත්වේ. එයින් පසු දේහය නැවතත් රථ පෙරහරකින් ලන්ඩනයේ හයිඩ් පාක් කෝනර් වෙත ගෙන යනු ඇත. එතැන් සිට එය රැගෙන යනු ලබන්නේ වින්ඩ්සර් මාලිග පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙතය. ලන්ඩනයේ සිට සැතපුම් 25ක් පමණ දුරින් පිහිටි මෙම දේවස්ථානය වෙත දේහය ළඟා වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30ට පමණය. මෙම දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයකින් පසු මහ රැජනගේ දේහය එහි ඇති ගර්භයක තැන්පත් කරනු ඇත. මෙම කටයුතු සියල්ල අවසන් වනු ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රි 12ට පමණය.

මුනුබුරු මිණිබිරියන්ගෙන් විශේෂ ගෞරවයක්
වෙස්ට්මින්ස්ටර් ශාලාවේ දේහය තැන්පත් කර තිබියදී විලියම් සහ හැරී කුමරුවන් ඇතුළු රැජනගේ මුනුබුරු මිණිබිරියන් සියලු දෙනා දේහය වටා සීරුවෙන් සිටගෙන විශේෂ ගෞරවයක් පුද කිරීමද විශේෂත්වයක් විය. මේ අතර දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලන්ඩන් නුවර දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව මෙය බවද එරට මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ ලොව රටවල් රැසක රාජ්‍ය නායකයන් මෙම අවස්ථාව සඳහා සහභාගි වීමයි. ජපානයේ නරුහිතෝ අධිරාජයා, යුරෝපයේ රජවරුන් සහ රැජනන්, ටොංගා සහ භූතානයේ රජවරුන්, කටාර්හි එමීර්වරයා, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුළු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් රැසක් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන රාජ්‍ය අවමඟුල් උත්සවයට සහභාගි වනු ඇත.

රාජ්‍ය නායකයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් 500ක් අවමඟුල් උත්සවයට
ලොවපුරා රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ 500ක් පමණ අවමඟුල් උත්සවයට සහභාගී වෙති. මෙම පසුබිම තුළ රැජනගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් දහස් ගණනක් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අති විශේෂ ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබේ. ගොඩනැගිලි වහල මත ස්නයිපර් තුවක්කුකරුවන් රඳවා ඇති අතර, ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානා ආරක්ෂාවට යොදවා තිබේ. අවමංගල උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 10,000ක් එක්ව සිටිති. ඊට අමතරව සිවිල් වැසියන් ලෙස සැරැසුණු පොලිස් නිලධාරීහු රැජනට ගෞරව දැක්වීමට රැස්වන ජනතාව අතරේ සිටිති.

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන සැකයක්
පොළොව යටින් විහිදෙන නළ මාර්ගවල නඩත්තු කටයුතු සඳහා පිවිසෙන කුහරවල (manholes) පියන් ඉවත් කර විශේෂ සෝදිසි කිරීම් සිදු කිරීමටද ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඇති හැකියාව ගැනද ආරක්‍ෂක අංශවල විශේෂ අවධානය යොමුව තිබේ. ත්‍රස්ත සංවිධානවලින් පමණක් නොව තනි පුද්ගලයන්ගෙන් ද එල්ල විය හැකි ආරක්‍ෂක තර්ජන සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.

ප්‍රධාන පොලිස් පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් නගරය පුරා පිහිටුවා ඇති සිය ගණනක් සීසීටීවී කැමරාවලින් ලැබෙන දර්ශන අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර අමතර ජංගම කැමරා රථද විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවා තිබේ.

බෝම්බ අටවා ඇත්දැයි සෙවීමට විදුලි පහන් කණුත් පරීක්ෂාවට
සැක කටයුතු පුද්ගලයන් සහ හැසිරීම් ගැන නිතර අවධානයෙන් පසුවන මෙන් ජනතාවටද උපදෙස් දී ඇත. බෝම්බ හඳුනා ගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කර ඇති පොලිස් නිල සුනඛයන් ද සිය ගණනක් සේවයට යොදවා ඇති අතර ස්කෝට්ලන්තය, උතුරු අයර්ලන්තය වැනි රටවලින් පවා අමතර බළ ඇණි ගෙන්වා ඇති බව මාධ්‍ය සඳහන් කර තිබිණි. මග දෙපස විදුලි පහන් කණුවල පවා බෝම්බ ඇටවීමට ඉඩ ඇතැයි සැක කරන ආවරණයන් සියල්ල සෝදිසියට ලක් කර තිබේ.

Aruna