Sunday, October 20, 2024
Follow Us
මොන විරෝධය ආවත් එට්කා ගිවිසුම අහෝසි කරන්නේ නැහැ

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් කරන ලද එට්කා ගිවිසුම කිසිදු වෙනස් කිරීමකින් තොරව ඉදිරියට ගෙනයන බවත් ඉන් රටට අහිතකර කිසිවක් සිදු නොවන අතර විශාල මුදලක් ශ්‍රී ලංකාවට හිමිවන බව සෞඛ්‍ය,පෝෂණ දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ඊට දැඩි විරෝධය පළ කළ බවත් ඒ අයුරින් ආණ්ඩුව ඉදිරිපත් කරන ගිවිසුම් සඳහා විරුද්ධ වීම විපක්ෂයේ සාමාන්‍ය සිදුවීම යැයි කී අමාත්‍යවරයා එම විරෝධතාව එදා සිට අඛණ්ඩව මේ දක්වා පවතින බව කීවේය.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙනී සිටින්නේ ඔවුන්ගේ සහ සෙසු වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් යැයි කී අමාත්‍යවරයා තමන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් අනතුරුව එම සංගමය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට යන බව කීවේය.

ත්‍රස්තවාදී ස්වරූපයෙන් ඔවුන් විසින් කරන අරගලය සෙසු වෛද්‍යවරුන්ට නුදුරේදීම වැටහෙනු ඇතැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

"ජාත්‍යන්තර වශයෙන් අත්සන් කිරීමට නියමිත ගිවිසුම් සියල්ල ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදීයි. ඒ ගිවිසුම් ඉදිරියට ගෙන යාම පමණයි අප රජය විසින් සිදුකරන්නේ.

පසුගිය පාලන සමයේදී සෞඛ්‍ය අංශය සඳහා ගැනීමට නියමිතව තිබුණු භාණ්ඩ ඇණවුමක් අවලංගු කළා. එය විදේශීය රටවල්වලින් ඉවත ලද නමුත් භාවිත කළ හැකි සෞඛ්‍ය උපකරණ සාමාන්‍යයෙන් මිලට වඩා ඉතාමත්ම වැඩි මිලට ගෙන්වීමට සැලසුම් කර තිබුණා. වෙළඳපලේ මිලට වඩා සියයට හැටකට වඩා වැඩි මුදලක් ගෙවා ගැනීමට නියමිතව තිබුණු එම ඇණවුම අවලංගු කළ නිසා නවීන උපකරණ වර්ග පනස් හතරක් කිසිදු මුදලක් නොගෙවා ගෙන්වා ගැනීමට අපට හැකි වුණා.

නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික් රෝහල් සඳහා නවීනතම සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකක් ලබා දීමට අපට හැකියාව ලැබුණා. මෙරට සාමාන්‍යයෙන් පවතින ස්කෑනර් යන්ත්‍රයකින් ශරීරයේ පැති දහසයක් ආවරණය කළ හැකි නමුත් නවීන සී.ටී. ස්කෑන් යන්ත්‍රය තුලින් ශරීරයේ පැති එකසියවිසිඅටක් ආවරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා."

යුරෝපා සංගමය උපකාර සහිතව හම්බන්තොට දිස්ත්‍රික් රෝහල නවීන රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රත්නායක මහතාද එක්විය.

(LNW)