Sunday, October 27, 2024
Follow Us
විදේශ රැකියා අහිමි වූවන්ට නැවත රැකියා ලබා ගැනීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය පතයි

කොරෝනා වසංගතය සමඟ රැකියා අහිමි වූ විගමනික ශ්‍රමිකයන්ට නැවත රැකියා ලබාදීමට හා ඔවුනට ආධාර ලබාගැනීමට සහය වන ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සිම්රිත් සිංග් මහත්මිය සමඟ කම්කරු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදීයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන් සම්බන්ධව ඇති ගැටළු කෙරෙහි ද එහිදී අවධානය යොමු කර ඇත. එම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, නිසි වේතන ලබාගැනීම හා වීසා ලබා ගැනීමේදී ඇති වන ගැටළු මෙන්ම රැකියා නියෝජිතයන් මඟින් විශාල මුදලක් අය කිරීම සම්බන්ධව ද අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතවරියගේ අවධානයට ලක් කළේය. එහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට රැකියා නියෝජිතයන් විසින් තමන්ට දැනුම් දුන් පරිදි එලෙස විශාලමුදලක් අය කිරීමට සිදුව ඇත්තේ, එතෙර රැකියා නියෝජිතයා විසින් වැඩි මුදලක් අය කරන නිසා බවයි. එම නිසා විදේශරටවල සිටින රැකියා නියෝජිතයන් අය කරන විශාල මුදල අඩු කිරිමට, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද ඔහු එහිදී සඳහන් කළේ ය. එසේම වීසා ලබාගැනීමේ ක්‍රියාවලි පහසු කිරීම සඳහා ද එම සංවිධානයේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයාසඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිරීති ගෝලීය වෙනස්කම්වලට අනුව සංශෝධනය කිරීම සඳහා තමන් විසින් මේ වන විටත් පියවරගෙන ඇති බව ද ඇමතිවරයා විසින් සිම්රිත් සිංග් මහත්මියට පැහැදිළි කළේය. කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම හා කම්කරුවන් හා හාම්පුතුන් අතර, සුහදශීලී සම්බන්ධතාවයක් ගොඩනැංවීමට කම්කරු අමාත්‍යාංශය හා රජය පියවර ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා විසින් පැහැදිළි කළේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ද මෙහිදී අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටියේය.

(LNW)