Sunday, October 27, 2024
Follow Us
පලාලි ගුවන්තොට සංවර්ධනයට ඉන්දියාවෙන් මිලියන 300ක්

යාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන කෙටුම්පත් කරන ලද අවබෝධතා ගිවිසුම ඉදිරි සති දෙක තුළ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

මේ සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළ කර ඇති අතර ඒ යටතේ මගී පර්යන්තය පුළුල් කිරීම මෙන්ම මෙහෙයුම් කටයුතු සඳහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථානගත කිරීමටද අපේක්ෂිතය.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ඇමතිවරයා අතර ඊයේ (25) සංචාරක අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ජාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුද්ධය සමයේදී ආරම්භ කළ අතර කොටි ත්‍රස්තවාදය හේතුවෙන් 1980න් පසු ගුවන් ගමන් අඩු විය.

2002 දී යාපනය පලාලි ගුවන්තොටුපල ගුවන් හමුදා පාලනයට නතුවූ අතර යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේදී මෙම ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස නැවත සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.

මෙහිදී දෙරට අතර පුළුල් සංචාරක වැඩපිළිවලක් මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමති ඩී.වී.චානක , සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන සේවා කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන අය එක්වූහ.

(Aruna)