Saturday, October 26, 2024
Follow Us
බේරුට් පිපිරීමට එරෙහිව මහජන නැගිටීමක්, හමුදාවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

බේරුට් (Beirut) අගනුවර පිපිරීම මුල්කර ගනිමින් ආණ්ඩුවට එරෙහි මහජන විරෝධය කුළුගැන්වෙමින් පවතින අතරවාරයේ විරෝධතාවාදීන් ආරක්ෂක හමුදා සමඟ ගැටුන බව ලෙබනනයෙන් වාර්තා වෙයි.

එම ගැටුම් පැතිරයාමත් සමඟ පාර්ලිමේන්තුව අසල රැස්වූ කණ්ඩායමකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලද බව ලෙබනන් වාර්තාවන්හි දැක්වෙයි.

අඟහරුවාදා (ජුලි 04) සිදු වූ පිපිරීම බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ දෙයක් ලෙස සලකන විරෝධතාවාදීහු බලවත් කෝපයට පත්ව සිටිති. අඟහරුවාදා බේරුට් වරාය භූමියේ සිදුවූ පිපිරීමට හේතුව 2013 වසරේ පටන් අනාරක්ෂිතව ගබඩාකර තිබුණ ඇමෝනියම් නෛට්‍රේට් (ammonium nitrate) ටොන් 2,750ක් බව නිලධාරීහු පවසති.

ආණ්ඩුව විසින් නිවේදනය කරනු ලැබ ඇති විභාගයක අංශයක් වශයෙන් පුද්ගලයන් දහතුන්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ලෙබනන් රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය පවසයි.

එම පිපිරීමෙන් අනතුරුව නිලධාරීන් දෙදෙනෙක් ඉල්ලා අස්වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මර්වන් හමඩේහ් (Marwan Hamadeh) බදාදා පදවියෙන් ඉවත්විය. එම පිපිරීම මගින් රටේ නායකත්වයේ වෙනසක් සිදුවීමේ අවශ්‍යතාව පෙන්නුම් කෙරෙන්නේ යයි පවසමින් ජෝර්දානයේ සිටි ලෙබනන් තානාපති ට්‍රේසි චමෝන් (Tracy Chamoun) බ්‍රහස්පතින්දා පදවියෙන් ඉවත්විය.

බ්‍රහස්පතින්දා උදෑසන බේරුට් නගරයේ සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ලෙබනනයට ප්‍රබල වෙනසක් අවශ්‍යකරන බව කියා සිටියේය.

පිපිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසත් ප්‍රංශ ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

ඇමෝනියම් ගෙනාවේ කොහි සිටද?

නෞකා සම්බන්ධ නෛතික කරුණු සාකච්ඡා කරන 'Shiparrested.com' වෙබ් අඩවිය පවසන පරිදි මොල්දෝවියානු ධජය සහිත 'Rhosus' නම් නෞකාව ජෝර්ජියාවේ සිට මොසැම්බික් කරා යාත්‍රා කරමින් සිටින අතරවාරයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් බේරුට් වරායට සේන්දු වී ඇත.

අනතුරුව එම නැව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරියට යාත්‍රා කිරීම තහනම් කෙරුණි.

ඉන් ටික වේලාවකට පසුව නැවේ අයිතිකරුවන් නැව අත්හැර දමනු ලැබ ඇත. ඒ සමඟ නෛතික පැමිණිලි කීපයක් ඉදිරිපත් කෙරුණි.

නැවෙහි පටවා තිබුණ ඇමෝනියම් නෛට්‍රේට් (ammonium nitrate) පොහොර සඳහා යොදාගන්නා අතර ඒවා පිපිරීම්කාරක ද්‍රව්‍යයක් ද වෙයි.

පසුව ආරක්ෂක හේතූන් සලකමින් එම ඇමෝනියම් නෛට්‍රේට් (ammonium nitrate) තොගය බේරුට් වාරයේ ගබඩාවක තැන්පත් කරනු ලැබුණි. ඉන් අනතුරුව 2013 පටන් පිපිරීම සිදුවෙනතෙක් වසර හයක කාලයක් ඒවා එම ගබඩාවේ විය.

බේරුට් වරායේ ප්‍රධානියා සහ රේගු අධිකාරියේ ප්‍රධානියා පවසන්නේ වාරයේ ආරක්ෂාව සලකා එම රසායන තොගය විකිණීමට හෝ අපනයනය සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් තමන් අධිකරණයට ලිඛිතව දැනුම් දී ඇති බවය.

එම රසායන තොගය වරායේ ගබඩාකර තබන ලෙස ලද පළමු අධිකරණ නියෝගය ලද අවස්ථාවේ ඒවායේ අනතුරුදායකභාවය පිළිබඳව තමන් දැනුවත්ව සිටි බව 'බේරුට්' වරායේ ප්‍රධාන කළමනාකරු වන හසන් කොරේටම් (Hassan Koraytem) OTV මාධ්‍ය ආයතනය සමඟ ප්‍රකාශ කර ඇත.

පිපිරීමෙන් සිදු වූ මිනිස් සහ දේපොළ හානිය

ලෙබනන්වාසීන් වැඩිදෙනෙක් පවසන ආකාරයට ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය නිසා සිදුවූ පිපිරීමෙන් අඩුතරමින් 137 දෙනෙකුවත් මරණයට පත්ව ඇත. තුවාලකරුවන්ගේ සංඛ්‍යාව පන්දහස ඉක්මවයි.

පිපිරීමත් සමඟ බේරුට් අගනුවර සමස්ථ කලාප මහා විනාශයට ලක්විය. මහජන නිවාස සහ ව්‍යාපාරික ස්ථාන බිමට සමතලා වීගොස් ඇත. ඒ අතරම පුද්ගලයන් රාශියකට සිදුවූ දෙයක් තවමත් දැනගැනීමට නොමැත.

පිපිරීම හේතුවෙන් 300,000 ක පමණ පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව බේරුට් හි ආණ්ඩුකාර මර්වන් අබවුඩ් සඳහන් කළේය.

"බේරුට්වලට ආහාර අවශ්‍යයි, බේරුට්වලට ඇඳුම්, ගෙවල්, ගෙවල් හදන්න අමුද්‍රව්‍ය අවශ්‍යයි. අනාථ වූ තමන්ගේම මිනිස්සුන්ට ඉන්න තැනක් සොයා ගන්න අවශ්‍යයි," බීබීසියට පැවසීය.

ඉහත කී තුවාලකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනෙක් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න පවසයි.

(BBC)