Saturday, October 26, 2024
Follow Us
පිලිපීනයේ වැසියෝ මිලියන ගණනකට යළිත් ලොක්ඩවුන් නීති

පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව නැවතත් ලොක්ඩවුන් නීති රීතිවලට යටත් කරනු ලැබ තිබේ.

පිලිපීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනාවෛරසය යළි හිස එසවීම හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරුන් අනතුරු ඇඟවීමෙන් අනතුරුවය.

මේ අනුව මැනිලා අගනුවර සහ අසල්වැසි ප්‍රාන්ත කීපයක ජනතාව ඉදිරි දෙසතිය තුළ නිවෙසට වී සිටිය යුතු බවට නියෝග නිකුත් කෙරුණි.

පිලිපීනය පුරා මීට පෙර ක්‍රියාත්මක වූ දැඩි ලොක්ඩවුන් නීති ඉවත් කෙරුනේ පසුගිය ජුනි මාසයේදී ය.

නමුත් කෝවිඩ් 19 රෝගයට ගොදුරු වූ බවට තහවුරු කෙරෙන රෝගීන් ගේ ප්‍රමාණය පස් ගුණයකින් ඉහළ ගිය අතර එය එරට රෝහල්වලට දරා ගත නොහැකි මට්ටමකට පත් විය.

මේ වන විට පිලිපීනයේ සිටින බවට තහවුරු වූ කෝවිඩ් 19 රෝගීන් ප්‍රමාණය ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා දැඩි නීති පනවන ලෙස පිලිපීනයේ වෛද්‍ය සංගම් 80ක් එකතු වී ජනාධිපති දුටාර්තේ ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව, නව සීමා පැනවීම් යටතේ පොදු ප්‍රවාහන සේවා සහ අභ්‍යන්තර ගුවන් ගමන් නතර කිරීමට පිලිපීන බලධාරීහු පියවර ගත්හ.

ලොක්ඩවුන් නීති පනවා ඇති ප්‍රදේශවල ජනතාවට නිවෙසින් පිටත යාමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ එළිමහනේ ශාරීරික ව්‍යායාම සඳහා පමණි.

පසුගිය ඉරිදා දිනය තුළ පමණක් කොවිඩ් 19 රෝගීන් 5,032 දෙනෙක් හඳුනාගත් බව පිලිපීනය නිවේදනය කළේය.

ඇතැම් ප්‍රදේශවල රෝහල් කරා පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ඔවුන් ආපසු හරවා යැවීමට සිදු වී ඇති බව ද වාර්තා වේ.

ලොක්ඩවුන් නීති නැවත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රෝගීන් සඳහා සිදුකෙරෙන වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය කාලය ලබා ගත හැකිවනු ඇති බවට වෛද්‍යවරු අපේක්ෂා කරති.

අතරමග කොටු වූ ජනයා
මෙම ලොක්ඩවුන් නීති නැවත ක්‍රියාත්මක වන බව දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා සුදානම් වීමට ජනතාවට ලැබුණේ පැය 24ක් වැනි කෙටි කාලයක් පමණි.

(අගෝ 04) එය ක්‍රියාත්මක විය. රැකියාවන් හි නියුතු බොහෝ පිරිසක් සිය ගම්බිම් බලා යාමට ප්‍රවාහන සේවා නොමැති කමින් අගනුවර සිර විය.

"අපේ අතේ සල්ලිත් නැහැ. අපිට මේ ගුවන්තොටුපලින් බැහැරව යන්නත් තැනක් නැහැ. මෙහෙ අපේ නෑදෑයෝ කවුරුවත් නැහැ." 36 හැවිරිදි රුවෙල් දමාසෝ AFP පුවත් සේවයට පැවසීය. ඔහු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු තැනැත්තෙකි.

දෙවැනි වතාවටත් නිවෙස්වලට සීමා වී සිටීම සඳහා සුදානම් වන ජනයාගෙන් මැනිලා නුවර කඩ සාප්පු පිරී තිබුණි.

නිවසට වී සිටින ලෙස නිකුත් වූ පළමු නියෝගය පසුගිය මාර්තුවේ මැද පටන් මැයි මස දක්වා ක්‍රියාත්මක විය. ලොව වැඩිම කාලයක් ක්‍රියාත්මක වූ එවැනි නියෝග (stay-at-home orders) අතරට පිලිපීනය ද එක්විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව, කොවිඩ් 19 රෝගය වැළඳී පිලිපීනයේ මියගිය පුද්ගල සංඛ්‍යාව 2,104කි.

(BBC)