Saturday, October 26, 2024
Follow Us
අයිශ්වර්යාට කෝවිඩ් නැහැ

කොවිඩ් -19 වයිරසය සඳහා සිදු කළ පරීක්ෂණය ඍණාත්මක වීම (තවදුරටත් වයිරසය නොමැති බව තහවුරු වීම) හේතුවෙන් බොලිවුඩයේ ජනප්‍රිය නිළි අයිශ්වර්යා රායි බච්චන් රෝහලෙන් පිටව ගොස් ඇත.

හිටපු ලෝක රූ රැජන ඊයේ (27 වැනිදා) දිනයේ ඇගේ දියණිය ආරධ්‍යා සමග මුම්බායිහි නැවතී සිටි රෝහලින් පිටව ගොස් තිබේ.

ඇගේ ස්වාමිපුරුෂයා වන අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අයිශ්වර්යාගේ සුවය වෙනුවෙන් ඉන්දියානු ජනතාව අඛණ්ඩව සිදු කළ යාඥාවන්ට හා සුබපැතුම්වලට ස්තුතිවන්ත වන බවයි. කෙසේ වෙතත් අභිෂේක් සහ ඔහුගේ පියා වන ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් තවදුරටත් කොවිඩි -19 ආසාදිතයන් ලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. වයිරසය ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මේ මස මුලදී රෝහල්ගත කරනු ලැබීය.

‘අයිශ්වර්යා සහ ආරධ්‍යාගේ පරීක්ෂාවන් ඍණාත්මක බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් රෝහලින් පිටව ගොස් ඇත. ඔවුන් දැන් අප නිවසේ රැඳී සිටිනවා. මගේ පියා සහ මම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රැකවරණය යටතේ රෝහලේ ප්‍රතිකාර ලබනවා’’ යැයි අභිෂේක් සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අයිශ්වර්යා සහ දියණිය රෝහලින් පිටව යන අයුරු ප්‍රාදේශීය පුවත් සේවා සජීවීව වාර්තා කර ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මුළු බච්චන් පවුලම සුවය ලබා ආපසු නිවසට පැමිණෙනතුරු ඉන්දීය රසිකයන් විවේක ගන්නේ නැත.

(Aruna)