Friday, October 25, 2024
Follow Us
බංගලාදේශ මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවෙයි

සිය සේවා කාලය අවසන් කළ බංගලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා ඊයේ (02) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසෙයි.

සිව් වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ හමිදුල්ලා මහතා සිය ධුරකාලය තුළ තමාට දැක්වූ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පළකර සිටියේය.

අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අවධියේ දී ශ්‍රී ලංකා බංගලාදේශ රාජ්‍ය සබඳතා ඉතා උසස් මට්ටමක පැවතුණ බව එහිදී සිහිපත් කළ මහකොමසාරිස් හමිදුල්ලා මහතා, වෙළෙඳ, කෘෂිකර්මාන්ත සහ ධීවර යන ක්ෂේත්‍ර ප්‍රමුඛකොට ගත් විවිධ අංශයන්හි දෙරට අතර පවතින සබඳතා ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා පළකළේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ දී ඉටු කළ සේවය වෙනුවෙන් මහකොමසාරිස්වරයා වෙත සිය ස්තූතිය පළකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් දුරකථනයෙන් අමතා සුබපැතුම් එක් කිරීමට කටයුතු කළ බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය වෙත සිය ප්‍රශංසාව පුදකරන ලෙස ද දන්වා සිටියේය.

බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වසර ආරම්භයේ දී සංවිධානය කරන්නට යෙදුණු මව් භාෂා දින වැඩසටහන අගය කළ අග්‍රාමාත්‍යවරයා එවැනි ක්‍රියා අඛණ්ඩව පවත්වාගෙන යන මෙන් ධුරයේ අලුතෙන් වැඩභාරගන්නා මහකොමසාරිස් වරයාට ද දන්වන මෙන් ඉල්ලා සිටියේය.

බංගලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා වෙනුවෙන් මහකොමසාරිස්වරායා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනාවක් ද කළේය.

(News.lk)