Friday, October 25, 2024
Follow Us
ඉහළ අවදානම් සහිත රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ උපාය මාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් ඇති තෙවැනි පාර්ශ්වයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස යුරෝපා කොමිසමේ දුර්වලතා සහිත රටක් ලෙස මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් 2017 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව ‘අළු ලේඛනගත’ කර ඇත.

ඒ අනුව එම කොමිසම විසින් 2018 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශ්වයේ රටක් ලෙස ලැයිස්තුගත කර තිබේ.

අළු ලේඛනගත කිරීමත් සමග අදාළ දුර්වලතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාවට ක්‍රියාකාරී සැලැස්මක් ලබා දුන් මූල්‍ය කාර්ය සාධක බළකාය ඒ සඳහා කාල රාමුවක්ද ලබා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කළ නිවේදනයකද දැක්වේ.

ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් අනෙකුත් පාර්ශ්වකරුවන් සමග ඉහත ක්‍රියාකාරී සැලැස්ම ලබාදුන් නිශ්චිත කාලරාමුව තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2019 ඔක්තෝබර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවැති මූල්‍ය කාර්ය සාධක බළකායේ සැසිවාරයේදී ‘අළු ලේඛනයෙන්’ ශ්‍රී ලංකාව ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ප්‍රකාශයට පත් කරන ලද යුරෝපා සංගමයේ ඉහළ අවදානම සහිත තුන්වන පාර්ශ්වයේ රටවල සංශෝධිත ලැයිස්තුව සහ යුරෝපා කලාපය තුළ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ වූ ප්‍රතිපත්තිමය විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියේ දී සම්මත කිරීම සඳහා යුරෝපා කවුන්සිලයට සහ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. යුරෝපා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය https://ec.europa.eu/commission/presscorner/detail/en/ip 20 800 යන වෙබ් අඩවි යොමුවෙන් ලබාගත හැකි බවද නිවේදනයේ දැක්වේ.

මූල්‍ය කාර්ය සාධක බළකාය සහ යුරෝපා සංගමය විසින් ඉහත කී ලේඛනයන්ගෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමත් සමග පසුගිය දෙවසර තුළ දී එකී ලේඛනගත කිරීම තුළින් ඇති වූ අහිතකර බලපෑම් පහව යන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය සාධනීයත්වය තවදුරටත් ධනාත්මක ලෙස ශක්තිමත් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

(Aruna)