Tuesday, December 24, 2024
Follow Us
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර

වර්තමානයේ බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින සේවක  ගැටලු සම්බන්ධයෙන්   සොයා බලා ඊට කඩිනමින්  විසඳුම්  ලබා දීමේ අරමුණෙන්  වරාය හා නාවික, සිවිල් ගුවන් සේවා, ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය   බිමල් රත්නායක මහතා පසුගියදා ගුවන්තොටුල පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී අමාත්‍යවරයා මේසේ ප්‍රකාශ කළේය.

"දැනට බණ්ඩාරනායක   ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  පවතින ප්‍රධානම ගැටලුව  වන්නේ  ගුවන්තොටුපලට පැමිණෙන මගී ප්‍රමාණයට සරිලන පහසුකම් ලබා දීමට නොහැකි කමයි. ඒ සඳහා විවිධ යෝජනා පසුගිය කාලවල ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අයථා ගනුදෙනු හා අනෙකුත් ගැටලු සමග  2023 වර්ෂයේ අවසන් කළ යුතු ප්‍රධාන ව්‍යාපෘති අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

අපේ රටේ ගුවන්තොටුපොල කිහිපයක් තිබුණත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල  සංචාරක කර්මාන්තය හා අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා වැදගත්කමක් උසුලනවා. මේ නිසාම මේ තුළින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත් අනාගත අපේක්ෂාවන්ට සරිලන පරිදි ජාත්‍යන්තර ගුවන්තොටුපල  ක්‍රමවේදයන්ට අනුගතව සංවර්ධනය කිරීමටත් අපි පියවර ගන්නවා. ඒ වගේම සේවක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමටත් මා අපේක්ෂා කරනවා"

මෙහිදී ගුවන්තොටුපල පරිශ්‍රය තුළ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු, ආගමන  විගමන හා රේගුපරිශ්‍රය, බැංකු සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන පරිශ්‍ර වෙත ද යමින් සිය නිරීක්ෂණය   සිදුකළ  අමාත්‍ය බිමල් රත්නායක මහතා,  මේ අවස්ථාවේ ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගින් සහ ගුවන්තොටුපල ආශ්‍රිත විවිධ වෙළඳ ආයතන වල සේවකයින් සමීපයට  ගොස් ඔවුන් සමගින් ද අදහස් විමසූ අතර,  වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ  කතාබහකට  ද එක්විය.