Sunday, October 20, 2024
Follow Us
2024 වර්ෂයේ විමධ්‍යගත අය-වැය සංවර්ධන වැඩසටහන දියත් කෙරේ

රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන 2024 වර්ෂයේ විමධ්‍යගත අය-වැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (11) පැවැත්විණි.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටු හරහා අදාළ සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කරනු ඇත. 

2024 ජනවාරි 31 වැනිදා වන විට දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම අවසන් කරන අතර, අනුමත වූ ව්‍යාපෘති ජූලි 31ට පෙර අවසන් කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණී.

දිස්ත්‍රික්ක 25 සඳහා ම ව්‍යාපෘතිවලට විමධ්‍යගත අය-වැය වැඩසටහන වෙනුවෙන් වෙන්වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,250ක්. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මගින් සමස්ත වැඩසටහන ම අධීක්ෂණය කරනු ඇත. 

ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රගතිය සතිපතා සමාලෝචනය කෙරෙන අතර ජාතික මට්ටමේදී මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධික්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක්වනු ඇත. 

එම තොරතුරු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාට ම සමානව ලැබෙන අයුරින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමා ඇතුළු රජයේ අපේක්ෂාව බව, මෙහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 

දරිද්‍රතාවය, ජනගහනයේ ව්‍යාප්තිය, වර්ග සැතපුම් ප්‍රමාණය සලකා බලමින් දිස්ත්‍රික්කය තුළ සමතුලිත සංවර්ධනයක් කළයුතු බව ද ඔහු කියා සිටියේය. 

මෙම සංවර්ධන වැඩසටහනට කිසිදු බාධාවක් සිදු නොවිය යුතුය යන්න නිලධාරීන්ට අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, එවැන්නක් සිදුවන්නේ නම් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් ඒ බව වහා ජනාධිපති කාර්යාලය දැනුවත් කරන්නැයි විශේෂයෙන් දැනුම් දුන්නේය.