Sunday, October 20, 2024
Follow Us
තැපෑලේ ආදායමෙන් 54% බස්නාහිර පළාතෙන්

තැපෑල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54% ක්‌ මේ වන විට උපයනු ලබන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඊට සමගාමීව නැගෙනහිර පළාතෙන් උපයන ආදායමද 10% ඉලක්කය දක්වාවත් වැඩිකල යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ ඉලක්ක වෙත ළඟා වීම සඳහා මේ වසර තුළ නැවත වරක් රට වැඩ කරන රටක් බවට පත් කිරීමට අප කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස දැක්වූ අමාත්‍යවරයා
"පසුගිය වසර කිහිපය තුළ රට තුළ ඇති වූ ආර්ථික අර්බුද හමුවේ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක ඉදිකිරීම් අතරමග නතර වුණා. තැපැල් විෂය භාර අමාත්‍යවරයා ලෙස මා මෙම අමාත්‍යංශයේ වගකීම බාරගැනීමෙන් අනතුරුව, ගොඩනැගිළි සඳහා මුදල් අනුමත නොකරන අවස්ථාවක විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙහි ඇති වැදගත්කම පිළිබඳ සලකා කැබිනට් මණ්ඩලය මඟින් ඊට මුදල් අනුමත කරගනු ලැබුවා. පෞද්ගලික කොන්ත්‍රාත් තුළින් තොරව පිරිමැසුම්දායක සහ ලාභදායි ලෙස එහි ඉදිකිරීම සිදු කරනු ලැබුවේ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව සහ CECB ආයතනය විසින්.


2020/2021/2022/2023 වසර වල කිසිදු ප්‍රාග්ධන වියදමක් දැරිය නොහැකි මට්ටමේ ආර්ථික අර්බුදයකට රටක් වශයෙන් අප මුහුණ දුන්නා. දීර්ඝ කාලයක් තිස්සේ පැවති සෑම රජයක්ම රටේ ආදායමට වඩා වැඩිපුර වියදම් කරමින්, අයවැය පරතරය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් ලබාගැනීමත්, රාජ්‍ය දේපළ විකුණා දැමීම, අසීමිත ලෙස මුදල් මුද්‍රණය වැනි වැරදි ආර්ථික ක්‍රියාමාර්ග වල අවසන් ප්‍රතිඵලය ලෙස දැවැන්ත ආර්ථික අර්බුදයක් සහ ණය අර්බුදයක් ඇති වුණා. ණය ගෙවීමට නොහැකි රටක් ලෙස බංකොලොත්භාවයට පත්වීමට අපේ රටට සිදුවුණා.
පැවති සෑම රජයක් විසින්ම සිදුකළ සියලු සංවර්ධන ව්‍යාපෘති සිදුකර තිබෙන්නේ විශාල ලෙස විදේශීය ණය ලබා ගැනීම තුළින්. පසුගිය වසර දෙක තුළම ඒ ලබාගත් ණය ගෙවීම සිදුවී නැහැ. ඒ තුළ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධාන, මිත්‍ර රටවල්, දේශීය හා විදේශීය ආර්ථික විශේෂඥයින් සියල්ලගේ සහාය ලබා ගනිමින් ණය නැවත ගෙවීම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුවා. ජනාධිපතිතුමාද පෞද්ගලිකවම රටවල් රැසක රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කරමින් මේ පිළිබඳ අවසන් එකඟතාවයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ අනුව ගෙවීමට නියමිත ණය ප්‍රමාණයෙන් 37% ඉදිරි වසර පහ තුළ ගෙවීමට සැලසුම් කර තිබෙනවා.තවත් 51% ක්‌ වසර හයත් වසර විස්සත් අතර කාලයක් තුළ ගෙවිය යුතුයි. තවත් 12%ක්‌ වසර විස්සකින් අනතුරුව ගෙවීමට නියමිත වනවා. එමනිසා 2048 දක්වා මෙරට කවුරුන් බලයට පත්වුවත් මෙම ණය අඛණ්ඩව ගෙවීමට බැඳී සිටින බව අවබෝධ කරගත යුතුයි. ඒ වෙනුවෙන් වර්ෂයෙන් වර්ෂයට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. රටට සැබවින්ම ආදරය කරන දේශපාලන නායකයකු නම් මේ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරගෙන යෑමට දිවුරා පොරොන්දු විය යුතුයි. එසේ නොවුවහොත් සති දෙකකට වඩා වැඩි කාලයක් රජයක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන්නේ නැහැ.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, ආහාර සුරක්ෂිතතා සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස් වියලෙන්ද්‍රන් මහතා,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්මිය, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ