Monday, October 21, 2024
Follow Us
ආසියානු සංව­ර්ධන බැංකු­වෙන් ඩොලර් මිලි­යන 200ක්

මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන මූල්‍ය හා බැංකු පද්ධතියේ ශක්තිමත් ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය දී තිබේ.

වසර 2022දී ඇරඹි ආර්ථික අර්බුදයෙන් මිදී, යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති මෙරට ආර්ථිකයේ සිදු කර ඇති ප්‍රතිසංස්කරණ සහිත උපායමාර්ගික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මේ ණය පහසුකම් දී ඇත.ආර්ථික ස්ථායීකරණ සහ මූල්‍ය හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කිරීමට රජය දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සහාය වීම ලෙස මේ මුදල දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ ටකෆුමී කඩෝතෝ මහතා ප්‍රකාශ කළේය.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මේ ණය පහසුකම කොටස් දෙකකින් මෙරටට දෙනු ඇත. ශක්තිමත් මූල්‍ය හා බැංකු පද්ධතියක් පැවැතීම අර්බුදයෙන් මිදීමට විශාල ශක්තියක් වනු ඇත. එමෙන්ම වසර 2022 සිට විදේශීය ණය ආපසු ගෙවීම තාවකාලිකව නතර කොට සිටින ශ්‍රී ලංකාවට යළි ප්‍රබෝධයක් ඇති කර ගැනීමට මූල්‍ය හා බැංකු පද්ධතියේ ශක්තිමත් බව විශාල රුකුලක් වනු ඇත. ඒ නිසා මේ ණය පහසුකම සැලසීමට අනුමත කළ බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහාය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන මෙම ඩොලර් මිලියන 200ක මුදලේ කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කෙරෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ආර්ථිකමය වශයෙන් රට තුළ සිදු කෙරෙන දිගු කාලීන ව්‍යූහාත්මය වෙනස්කම් වෙනුවෙන් අදාළ මුදල පිරිනමන බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුභවාදී අපේක්ෂා වෙන් පසු වන අතර එය හිමිවීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානවල සහය ශ්‍රී ලංකාවෙ වෙත තව දුරටත් හිමි වනු ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.