Monday, October 21, 2024
Follow Us
නෙළුම් කුලුනේ කැර­කෙන අව­න්හල අද ජනතා අයි­ති­යට

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ගෙන එන කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පස්වරුවේ විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දකුණු ආසියාවේ උසම අවන්හල ලෙසින්, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ පිහිටි ‘Blue Orbit’ අවන්හල තුළ එක්වරකදී 225ත් 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතින අතර, එය නෙළුම් කුලුන පරිශ්‍රයේ 27 වැනි මහලේ පිහිටා තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම සහ සිට්‍රස් සමාගම එක්ව මෙ කැරකෙන අවන්හල පවත්වාගෙන යන අතර, එය දිවා සහ රාත්‍රි ආහාරපාන ලබාගැනීම වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත. දිවා ආහාරය සඳහා පෙ.ව. 11.00 සිට ප.ව. 3.30 දක්වාත්, රාත්‍රී ආහාරය සඳහා ප.ව. 6.30 සිට රාත්‍රී 11.30 දක්වාත් කැරකෙන අවන්හල විවෘතව පවතින බව දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙයි.

මේ අවන්හල උපයන ලාභයෙන් 80%ක් නෙළුම් කුලුන කළමනාකරණ සමාගමටද, ඉතිරි 20% සිට්‍රස් සමාගමටද ලැබෙන පරිදි ක්‍රියාත්මක වන අතර, අවන්හල පවත්වාගෙන යෑම සඳහා නෙළුම් කුලුන කළමනාකරණ සමාගම විසින් රුපියල් මිලියන 220ක මුදලක් ආයෝජනය කර තිබේ.

“මුලින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පැවැති නෙළුම් කුලුන මේ වන විට මුදල් අමාත්‍යාංශය යටතේ පවතිනවා. නෙළුම් කුලුන ඉදිකිරීම වෙනුවෙන් ගත් ණය මුදල මේ වන විට නිසි පරිදි කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම විසින් ගෙවා තිබෙනවා. මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් කියා අර්ථකථනය කරන්න ඇතැමුන් උත්සාහ කළා. එහෙත් අද වන විට මෙහි තත්ත්වය අපිට දකින්න ලැබෙනවා. මේ වන විට මෙහි සියලු කුටි වෙනුවෙන් බදු ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව මේ වනවිට ගිවිසුම්ගත වීම අවසන් කර තිබෙනවා.

මේ වන විට කොටසක් ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය ආයෝජන ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුවටත් වැදගත් වෙනවා. එය කළමනාකරණය වෙනුවෙන් සිට්‍රස් හෝටල් සමූහය විසින් බාරගෙන තිබෙනවා. එය එම හෝටල් සමූහය සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු සිදු කරනවා” යැයි රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සදහන් කරයි.