Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් බිලියන 1.8 ක ආයෝජන ආකර්ෂණයක්

කවර පසුබෑම් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ඇමරිකානු ඩොලර්  බිලියන 1.8  ක වටිනාකමින් යුත් ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇති බව සහ ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා(24)  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති මෙම වසර තුළ ගිවිසුම්ගත වූ ආයෝජකයින්ගේ ගැටලු විමසීම, ප්‍රගති සමාලෝචනය සහ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුළ අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත්ව ඇත. 

මෙහි දී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් පෙන්වීමයි. 

නමුත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජනවල පෙන්වන්නේ මන්දගාමී තත්ත්වයකි.

එසේම මෙම වසරේ මෙරට බලශක්ති කේෂ්ත්‍රයේ දිශානතිය නව මගකට යොමු කරවන නව ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය ලබා දීමට ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හැකි වී ඇත. 

බලශක්ති ක්ෂේත්‍රයේ  ඉහළ ආයෝජන වටිනාකම් ඇති  Adani Corporation, Sinopec, RM Parks - (Shell සමඟ) වැනි ආයෝජන ව්‍යාපෘති මඟින් ඉදිරියේ දී මෙරට බලශක්ති ක්ෂේත්‍රය කැපී වෙනසට ලක් කරනු ඇත.

මීට අමතරව සංචාරක, තොරතුරු තාක්ෂණ, සන්නිවේදන සහ නිෂ්පාදන යන කේෂ්‍ත්‍රවල ද කැපි පෙනෙන ආයෝජනයන් දක්නට ලැබේ.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, හොංකොං, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 2023 මෙම කාල සීමාව තුළ ආයෝජන වයපෘති වලට සම්බන්ධ වන රටවල් ය.