Monday, October 21, 2024
Follow Us
කොළඹ වරාය නගරයට අදාළ තවත් නීති රෙගුලාසි කිහිපයක් මාස තුනක් ඇතුළත සම්මත කිරීමට සැලසුම්
 
කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

 ඒ රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කොළඹ නරය තුළ ක්රියාත්මක වන නීති පද්ධතිය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව උපදේශක කාරක සභාව නිලධාරීන්ගෙන් විමසන ලදී. එයට පිළිතුරු ලබා දෙමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්රමසූරිය මහතා, කොළඹ වරාය නගරයේ ආයෝජනයන් ගෙන ඒමට අවශ්ය නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන තුළ ක්රියාත්මක වන බවත්, ඒ සඳහා වන ක්රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් පැවසුවේය. වරාය නගරයේ වාණිජ කටයුතු සඳහා විශේෂ නීතිමය විධිවිධාන ඇතත් රටේ පවතින අනෙකුත් නීති පද්ධති ක්රියාත්මක වන බව ඒ මහතා මෙහිදී ප්රකාශ කළේය.
 
මේ අතර මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් කඩිනමින් සම්මත කිරීමට නියමිත බව සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව ලබන වසරේ සිට ශ්රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවට ගෙන ඒමට නියමිත ආයෝජන ක්රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්යාංශ සහ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීම ප්රමාද කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡා කෙරිණි. විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ආයෝජකයින් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා විකල්ප මාර්ග සඳහා ධනාත්මක පිළිතුරු ලැබී ඇති බවද සභාපතිවරයා පැවසුවේය.
මේ අතර, ශ්රී ලංකාවේ ආහාර නිෂ්පාදනයක් ලෙස චීනයට කුරුඳු අපනයනය කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්රගතියක් ලබා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.
පසුගිය ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයීය කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්රී යදාමිණි ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පදනම්ව මෙම ක්රියාමාර් ග ගෙන ඇත.
මෙම රැස්වීමේදී රාජ්ය අමාත්යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ඩයනා ගමගේ, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නිරෝෂන් පෙරේරා, යදාමිණි ගුණවර්ධන, වීරසුමන වීරසිංහ, කුමාරසිරි රත්නායක, මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.