Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බල ගැන්වීමට අවබෝධතා ගිවිසුමක්

මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාර (Startups) පෝෂණය කිරීම, අනුග්‍රහය දැක්වීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අඛණ්ඩව දෙවන වසරටත් සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනී.

ඒ වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට ICTA හි සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා සහ සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමෙහි තොරතුරු තාක්ෂණ/ඩිජිටල් අධ්‍යක්ෂ සහ ෆෝටූඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන සිරිනන්ද මහතා විසින් පසුගියදා අත්සන් තබන ලදී.
මෙම උපාය මාර්ගික සහයෝගීතාවයේ ඉලක්කය වන්නේ අත්‍යවශ්‍ය අරමුදල් සහ සහාය ලබා දීම මඟින් මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාරවල ඉක්මන් වර්ධනයක් ඇති කිරීමයි.
ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.
අවබෝධතා ගිවිසුම මඟින් ශක්තිමත් වන Spiration Startup Incubator වැඩසටහන හරහා ආරම්භක අවධියේ තාක්ෂණික ව්‍යවසායකයින් හට මූලික අරමුදල්, පුහුණුව, ජාලකරණ අවස්ථා සහ දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථා ඇතුළු විවිධ ආකාරයේ සහාය ලබා දෙනු ලැබේ.
නව්‍ය ව්‍යාපාර ආරම්භයේ සිට සෑම අදියරක දී ම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින්, ආරම්භක නව්‍ය ව්‍යාපාර පාරිසරික පද්ධතියේ සංවර්ධනය සඳහා ICTA විසින් පුළුල් සහ දත්ත මත පදනම් වූ උපාය මාර්ගයක් පිළිගෙන තිබේ.
මේ දක්වා ආරම්භක නව්‍ය ව්‍යාපාර 150කට අධික සංඛ්‍යාවකට උපකාර කිරීමට Spiralation මුලපිරීමට හැකි වී ඇති අතර ඒවායෙන් බොහොමයක් ගෝලීය වශයෙන් රටවල් 30කට වඩා වැඩි ප්‍රමාණයකට තම ප්‍රවේශය පුළුල් කර ඇතිවා පමණක් නොව, රැකියා අවස්ථා 1,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ද සාමූහිකව දායක වී තිබේ.
නොවැම්බර් 13 සිට 19 දක්වා ලෝකයේ රටවල් 200කට ආසන්න ප්‍රමාණයක පැවැත්වෙන 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන්නේ ද ICTA ආයතනයයි.