Monday, October 21, 2024
Follow Us
2024 අයවැය අද මධ්‍යහ්න 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2024 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස  අද මධ්‍යහ්න 12.00ට  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

  • දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා - දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 අගහරුවාදා ප.ව 6.00ට

 

  • කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව 6.00 ට

 

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) ප.ව 12.00  ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා ප.ව 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර   දින 19 ක් පැවැත්වේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

2024 විසර්ජන පනතට අනුව, රජයේ සමස්ත වියදම ආසන්න වශයෙන් රු. බිලියන 7,833 ක් ලෙස ගතහැකි අතර ඉන් රජයේ සේවා වියදම් දැරීම සඳහා රු. බිලියන 3,861 ක් වෙන් කොට ඇත.

එමෙන්ම 2024 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් හෝ මුදල් ලබාගැනීමට බලය පැවරීමේ දී 2024 වර්ෂයට අදාලව ලබාගනු ලබන ණය මුදල් හි සීමාව ලෙස දක්වා ඇත්තේ රු. බිලියන 3,900 නොඉක්මවිය යුතු ලෙසටයි.

මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව (පළමුවන වර කියවීම)  පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ අනුමතිය පසුගිය 09 වැනිදා හිමිවිය.

2024 විසර්ජන පනත් කෙටුම්පතෙහි අඩංගු වන වියදම් ඇස්තමේන්තු සාරාංශය පහත දක්වා ඇත.

2024 විසර්ජන පනත

උපලේඛන

පුනරාවර්තන වියදම් 

රු. බිලියන

මූලධන වියදම්

 රු. බිලියන

මුළු එකතුව

රු. බිලියන

I උපලේඛන

පොදු සේවාවන් සඳහා ගෙවිය යුතු මුදල්

2,651.4

1,209.4

 

3,860.8

II වන උපලේඛන

ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු රජයේ වියදම්

2,702.3

1,263.7

3,966.0

III වන උපලේඛන

අත්තිකාරම් ගිණුම්වල සීමා

   

6.0

මුළු එකතුව

5,353.7

2,473.1

7,832.8

ණය සීමාව (විසර්ජන පනත්  කෙටුම්පතට අනුව)

 

 

3,900

මූලාශ්‍ර - පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු පර්යේෂණ අංශය