Monday, October 21, 2024
Follow Us
අලුතින් බදු පනවන්න බැරි බව මුදල් රාජ්‍ය ඇමැති කියයි

මේ රටේ ජනතාවට අලුතින් බදු පැනවිය නොහැකි බවත් එය ජනාධිපතිතුමත් පැහැදිලිව ම ප්‍රකාශ කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී එම ආයතන ප්‍රධානීන් සමඟ පැවති අදහස් හා යෝජනා පිළීබඳ පැවති සාකච්ඡාවේ දීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා
“ මේ සාකච්ඡා අපි හරි තැනට ගෙනෙමු.පැහැදිලිවම රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත යුතුයි.අදායම් ඉලක්කවලට යා යුතුයි.මේ රටේ ජනතාවට අලුතින් බදු පනවන්න බැහැ.ඒක මේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි.ඒක රාජ්‍ය නායකයා විදිහට අතිගරු ජනාධිපතිතුමත් පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා.එහෙනම් අපිට තියෙන්නේ මේ තියෙන ක්‍රමවේදය තුළ පදනම පුළුල් කර ගැනීම සහ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අය කර ගැනීම.”
මෙම අවස්ථාවට රාජ්‍ය ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ.ගුණසිරි ,වැඩ බලන මදුල් අමාත්‍යංශ ලේකම් ආර්.එම්.පී රත්නායක,රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී,එස්.සී.නෝනිස්, සුරා බදු කොමසාරිස් සමන් ජයසිංහ,දේශීය අදායාම් දොපර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස්.යූ.ඒ ජයවර්ධන මහතා ඇතුලු පිරිසක් එක්වූහ.