Tuesday, October 22, 2024
Follow Us
කුකුල් මස් මිල වෙනස් වෙයි

කුකුළු මස් මිල රුපියල් සියයකට වඩා අඩු කරමින් හම සහිත කුකුළු මස් කිලෝවක් අද(02)සිට රුපියල් 1250ක මුදලකට සියලුම සුපිරි වෙළෙදසැල්වල අලෙවි කිරීමට කුකුළුමස් නිෂ්පාදකයින්ගේ සංගමය එකඟත්වය පළ කර තිබේ.

කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (01) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම සාකච්ඡාවට දැනට අප රටේ කුකුළුමස් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් සහභාගි වී සිටියහ.
රජය විසින් මේ වනවිට බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කී අමාත්‍යවරයා කුකුළු මස් මිල ද අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බව අවධාරණය කළේය.

කුකුළු මස් හා බිත්තරවලින් අපේ රට ස්වයංපෝෂිත වුවද බිත්තර හා කුකුළුමස් මිල ඉහළයාම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ගැටළුවක් වී තිබේ. එම නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිත්තර මිල හා කුකුළු මස් මිල අඩු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කළේය.
කිසියම් සුපීරි වෙළෙඳසැලක් ඊට වැඩි මිලට අලෙවි කරන්නේ නම් 0712732679 දුරකථනය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙස ද එම කර්මාන්තකරුවෝ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියහ.

මීට අමතරව මේ වනවිට කුකුලන් සඳහා අවශ්‍ය සත්වාහාර නිෂ්පාදනයට එම කර්මාන්තකරුවන්ට බඩඉරිඟු ආනයන බලපත් ලබා දී ඇති බැවින් අදාල බඩඉරිඟු තොග ලැබුනු වහාම තවදුරටත් කුකූළුමස් මිල අඩු කෙරේ. එමෙන්ම ඩොලරයට සාපේක්ෂවරුපියලේ අගය වැඩිවීමේ වාසිය ද පාරිභොගිකයින්ට ලබා දීමට එකඟත්වය පළ කළේය.
මේ අතර දැනට සියලු කුකුලු ගොවිපොළවලට මේ වනවිට කුකුළු පැටවුන් 34ලක්ෂ විසිදහසකට වඩා ඇතුළත් කර ඇති බැවින් දෙසැම්බර් මාසය වනවිට අප රටේ බිත්තර නිෂ්පාදනය සීග්‍රයෙන් ඉහළ යන බවටත්, ඒ අනුව බිත්තර මිල රුපියල් 35-40ත් අතර මිලකට තබා ගත හැකි බවත් බිත්තරකර්මාන්තකරුවෝ අවධාරණය කළේය.
කෙසේ වුවද බිත්තර හා කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තයේ වර්තමාන ප්‍රගතිය හා එම දේශීය කර්මාන්තය ශක්තිමත් කර ගැනීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
විශේෂයෙන් දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරගැනීම මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වගකීමත් රජයට ඇති බැවින් කුකුළු නිෂ්පාදන තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එම කර්මාන්තකරුවන්ට දැනුම් දුන්නේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.