Tuesday, October 22, 2024
Follow Us
නීති විරෝධී ආයෝජන ක්‍රම පිළිබඳ මහජන පැමිණිලි රැසක්

මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක් මෑතකදී ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

‘’ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයින්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව.

යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව.
යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකලහොත්, ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන බව.
මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව.”

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී සහ නියාමනය කරනු ලබන ආයතනයන්හි ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති අතර පහත සදහන් සබැඳි හරහා ප්‍රවේශ විය හැකිය.
https://www.cbsl.gov.lk/authorized-financial-institutions
https://www.dfe.lk/web/index.php?option=com_content&view=article&id=82&Itemid=513&lang=en
මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට කාරුණිකව උපදෙස් දෙනු ලැබේ.
තවද, එවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමෙන් තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් අහිමි වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බැවින් එවැනි යෝජනා ක්‍රමවල නිරත නොවන ලෙස හෝ ආයෝජනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.