Tuesday, October 22, 2024
Follow Us
සබරගමුව පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය

සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. මෙහිදී අවශ්‍ය සියලුම අංශ පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේද නිලධාරීන් සම්බන්ධකරගැනීම සිදු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සබරගමුව පළාත් සභාවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී අංක පී එස්/ සී එස් ඒ/00/1/4/2 හා 2018 ඔක්තොබර් 12 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය මගින් එක් අයෙකුට හිමි ඉන්ධන දීමනාව තවත් අයෙකුට ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කාලය තුළදී ඔහුට නිෂ්චය කළ රු. 725,000 ක ඉන්දන දීමනාව පෞද්ගලික ලේකම්වරිය වෙත ලබාදීම ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

එසේම ප්‍රධාන අමාත්‍යාංශයට අයත් සහ ආණ්ඩුකාර ලේකම් කාර්යලයට අයත් වාහන දෙකක් අනතුරට ලක්වීමෙන් පසු රක්ෂණ සමාගම විසින් ලබාදෙන වන්දිය ලබා නොගෙන පෞද්ගලික ගරාජයකට ලබාදී අලුත්වැඩියා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ සම්බන්ධයෙන්ද තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙස කමිටුව නිර්දේශ කළේය.

තවද පළාත් සභාව සඳහා අවශ්‍ය වෛද්‍යවරු හිගය සහ විදේශගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණයේ හිගයක් නොපවතින බව මෙහිදී හඳුනා ගැනුණි.

එසේම ප්‍රධාන අමාත්‍යාංශය විසින් පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේ පස් මහල් නේවාසිකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් කටයුතු කොට එම ඉදිකිරීම් අතරමග නවතා දැමීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. එසේම කොන්තරත්කරුවන් වෙනුවෙන් ලබාදුන් අත්තිකාරම් මුදලින් රුපියල් 24,702,328 ක් තවමත් අයකර නොගැනීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.
තවද සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරවුල් විසදීම සඳහා අදාළ සමිති වලින් තීරක ගාස්තුවක් අය කර ආරවුල් විසදීමෙහි නිරත සමූපකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් තීරක ගෙවීමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ සඳහා බලතල ඔවුන් සතුව ඇති බවත් මෙම රාජකාරීන් සිදු කරන්නේ නිවාඩු දින වල බවත්ය. එසේම මෙලෙස නිලධාරීන්ට මෙමගින් කටයුතු සිදු කිරීම ලාබ සහගත බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේය.

එසේම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත අනුමත ඉන්ධන ප්‍රමාණයක් මාසිතව ලබාදෙමින් පැවතියදී පළාත් පාළන දෙපාර්තමේන්තුව විසින් ද රු. 5000ක සීමාවකට යටත්ව මාසික ඉන්දන දීමනාවක් ලබාදීම පිළිබඳවද කමිටුව විසින් ප්‍රශ්න කරන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව විශය භාර අමාත්‍යවරයාගේ අනුමතිය සහිතව මෙම දීමනාව ලබාදී ඇති බවයි.

තවද සබරගමුව පළාත් සභාව සතු ප්‍රදේශයේ සියලුම පළාත් පාලන ආයතනවල විගණනයේදී හෙලිවූ කරුණු සම්බන්ධයෙන් විමසීමද මෙහිදී සිදු විය. මේ සඳහා සියලු පාළාත් පාලන ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධකර ගැනීම සිදු විය.