Tuesday, October 22, 2024
Follow Us
ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙනවා - මුදල් රාජ්‍ය ඇමැති

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇතිවන ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වාහන ආනයනය කරන්නන් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහි දී ආනයනකරුවන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවයි. පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ ඇතුළු රථ වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්න ද ඒවා ආනයනය කිරීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව ඔවුහු මෙහිදී පැහැදැලි කළහ.

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි. අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.