Tuesday, October 22, 2024
Follow Us
''සියලු අභියෝගයන්ට විසඳුම ඇත්තේ නවීන තාක්ෂණයේ දියුණුවයි''- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ව්‍යවහාරික ක්ෂුද්‍රජීවී පර්යේෂණ, සංවර්ධන සහ පුහුණු පර්යේෂණාගාරය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අතින් සිදු කෙරිණි.

සාර භූමි ලංකා බයෝ ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම විසින් කාබනික කෘෂි කර්මාන්තය හා සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු කිරීම සඳහා වන අති නවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විත මෙම නව පර්යේෂණ මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.

මෙම උත්සවය අමතමිනි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"රටට අලුත් යමක් එකතු කිරීමට උත්සාහ දරන ව්‍යවසායකයින්ට අපද ශක්තියක් විය යුතුයි. වෙනස්වන ලෝකය තුළ ඊට ගැලපෙන ලෙස වෙනස් නොවුණහොත් රටක් වශයෙන් අපට අනාගත පරපුර වෙනුවෙන් යහපත් තීරණ ගැනීමට හැකියාවක් නොමැති වෙනවා. තාක්ෂණ ලෝකය තුළ බිහිවන අභියෝගයන්ට මුහුණ දිය හැකි වන්නේ සිතනවාට වඩා යමක් සිතමින් නවෝත්පාදන බිහිකිරීම තුළින්. අපේ රට තුළ පවතින සම්පත් අතරින් වඩාත් ඌන උපයෝජිත සහ සාධාරණ ලෙස උපයෝජනය කර නොගත් සම්පත වන්නේ මානව සම්පත බව මා විශ්වාස කරනවා. ඊට රටේ පැවැති අධ්‍යාපන ක්‍රමය ද හේතු වී තිබෙනවා.
වෘත්තීය අභිමුඛ දක්ෂතා කුසලතා සහ හැකියාවන් සහිත දරු පරම්පරාවක් ඇති නොකිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සිංගප්පූරුව, චීනය, ඉන්දියාව වැනි රටවල් අප පසුකර යද්දී අපේ රට ලබා ගත් ණය පවා ගෙවීමට නොහැකි ජාතියක් බවට පත්ව තිබෙනවා.
රට තුළ බිහිවන උපාධිධාරීන් අතරින් 51%ක්‌ කලා උපාධිධාරීන්. ඒ අය අතරින් බොහෝ දෙනකුට ලබාදීමට රැකියාවන් රට තුළ තිබුණේ නැහැ. තිබෙන රැකියාවලට අවශ්‍ය උගතුන් ද ඇත්තේ නැහැ. මා උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ ඊට විසඳුමක් ලෙසයි. ආරම්භයේ දී බොහෝ දෙනෙකු ඊට විරුද්ධ වුවත් මේ වන විට එහි යහපත් ප්‍රතිඵල ලක්ෂ සංඛ්‍යාවක් දරුවන් භුක්ති විදිනවා.
කෘෂිකර්මාන්තය සහ එහි නව්‍යකරණය පිළිබඳව වත්මන් දරු පරපුරට තාක්ෂණික දැනුමක් ලබාදීම තුළින් උසස් අධ්‍යාපනයට හෝ ඒ මත පදනම් වූ කෘෂි ව්‍යවසායකයින් බවට ඔවුන් පත් කිරීමේ අවස්ථාව පවතිනවා.
රටට අවශ්‍ය කරන ආහාර පාන අතරින් වැඩි ප්‍රමාණයක් ඉහළ ඵලදායිතාවයකින් යුතුව අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීමටත්, ලෝක ආහාර ඉල්ලුමට සරිලන පරිදි වැඩි කෘෂි අපනයන ප්‍රමාණයක් සිදුකර ආදායම් උපයා ගැනීමටත් කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවයක්.

දැනට අපේ රට තුළ භාවිතා කරන කෘෂිකර්ම තාක්ෂණය බොහෝ යල්පැන ගොස් තිබෙනවා. මේ වන විට කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් කෘතිම බුද්ධිය යොදාගනු ලබනවා. එලෙස ලොව පවතින නවීන තාක්ෂණය සහ නවෝත්පාදන වැඩි වැඩියෙන් භාවිතා කරමින් ඒ දෙසට ගමන් කිරීමේ ව්‍යාපෘතියක් මේ ආකාරයෙන් ආරම්භ කිරීම පිළිබඳව ඊට දායක වූ සියලු දෙනාට මාගේ ගෞරවය පිරිනමනවා."

කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා,සාර භූමි ලංකා බයෝ ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චාමින්ද අබේගුනසේකර මහතා, කෘෂිකර්ම ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ ආයතන නියෝජනය කරන විද්වතුන් ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.