Tuesday, October 22, 2024
Follow Us
කල්බදු පැහැර හැරියත් වාහන අත් කරගත හැකිද?

කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

පරාටේ නීතිය සම්බන්ධයෙන් අද (11) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පරාටේ බලතල යටතේ යම් දේපොලක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

2021 ජනවාරි 4.8%ක් වූ බැංකුවල අක්‍රිය ණය ප්‍රතිශතය 2023 ජූනි වන විට 13.4%ක් ලෙස ඉහළ ගොස් තිබේ. මෙය ඉතා බැරෑරුම් තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක පරාටේ බලතල අත් හැරීම බැංකුවේ ණය අයකර ගැනීමේ හැකියාව අවම කිරීමට ප්‍රධාන හේතු කාරණාවක් වන අතර මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාම හේතුවෙන් බැංකුව බුන්වත්භාවයට පත්වීමේ අවදානමක් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නෙය.

කෙසේ වෙතත් බැංකුව පරාටේ බලතල මගින් දේපල අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මෙම අදාළ ණය අය කර ගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නොමැති විට ය. ඊට පෙර බැංකුවල පවතින අභ්‍යන්තර ක්‍රියාවලීන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අක්‍රිය වූ පසු ණය ප්‍රතිලේඛන ගත කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා ණය අය කර ගැනීම කටයුතු කරන අතර සාමාන්‍යයෙන් පරාටේ බලතල හරහා දේපල අත්පත් කර ගැනීමට සිදු වන්නේ හිතාමතාම ණය පැහැර හරින ගනුදෙනුකරුවන් සහ මෙම ව්‍යාපාර කිසිසේත් ම නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට අපොහොසත් වූ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

2023 ජනවාරි මස සිට ජූනි මාසය දක්වා කාලය තුළ මෙරට බැංකු සහ මූල්‍ය ආයතන 19ක් මගින් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා 173ක දී පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් බිලියන 15ක ණය සඳහා පමණක් මෙම නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙරට බැංකුවල ඇති වත්කම්වලින් රජයට හෝ කොටස්කරුවන්ව අයත් වන්නේ 8% පමණි. අනෙක් සියල්ල 57,599,746 වූ තැන්පත්කරුවන් සතුය. එම තැන්පත් ප්‍රමාණයෙන් 60%ක් ම රුපියල් 5000ට අඩු ගිණුම් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.