Tuesday, October 22, 2024
Follow Us
උද්ධමනය තනි අගයකට එයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මස සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජුනි මාස සියයට 12 ක අගයක පැවතිණි. මෙම මස (ජූලි) ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -1.4 ක් දක්වා පහත වැටී ඇති අතර පසුගිය ජුනි මාසයේදී එය සියයට 4.1 ක් ලෙස පැවැති බවත් ජූලි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 10.5 ක් දක්වා පහත වැටී ඇති අතර එය පසුගිය ජුනි මාස සියයට 16.2 ලෙස පැවැති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට මෙය අනුකූල වන බවද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය තවදුරටත් පහළ ගොස් මැදි කාලීනව ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරන බවද සඳහන් කළේය.

මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, සැපයුම් අංශයේ වර්ධනයන්, බලශක්ති හා ආහාර උද්ධමනය පහළ යෑම සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වන අතර ජනජීවිත යථාවත් කිරීමටද එය ඉවහල්වේ.