Tuesday, October 22, 2024
Follow Us
දේශීය කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට එකඟත්වය

මෙරට නිෂ්පාදිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයකින් පහත දැමීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ එකඟත්වය පළ කළහ.

දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම ඉළක්ක කරමින් අද (01) පෙරවරුවේ ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී මේ වනවිට දේශීය කුකුළු මස් නිෂ්පාදනය මෙරට ස්වයංපෝෂිත මට්ටම දක්වා පැමිණ ඇති නිසා එම කර්මාන්තය ඉදිරියටත් රැකගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කුකුළු මස් ආනයනය කළහොත් දැනට ස්වයංපෝෂිත මට්ටමේ තිබෙන මෙම දේශීය කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිය හැකි බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්බන්ධව ඊයේ (31) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී ගරු ජනාධිපතිතුමන් විසින් කුකුළු මස් මිල සම්බන්ධව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ වගකීම තමන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට වෙළෙඳ පොළේ කුකුළු මස් මිල ඉහළයාමට ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද නිසා බවත්, එම බද්ද රුපියල් 25ක් දක්වා අඩු කර දෙන ලෙසත් එම ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටියහ. එමගින් කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට ඔවුන් එකඟත්වය පළ කළේය.

මේ සම්බන්ධව ජනාධිපතිතුමන් අද දවස තුළ දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා ආනයනික බඩඉරිඟු සඳහා වන ආනයනික බද්ද රුපියල් 25 දක්වා අඩු කිරීමේ යෝජනාව ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කිරීමට එකඟවිය. එමෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහත වැටෙන අවස්ථාවල එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීම සදහා පියවර ගැනීමටත් ඔවුන් එකඟත්වය පළ කළේය.

දැනට අපේ රටේ කුකුළු කර්මාන්තය තුළ කුකුළු මස් අපනයනය ද සිදු කරනු ලබයි. ඒ අනුව මාසිකව මාලදිවයින හා මැද පෙරදිගට දේශීය කුකුළු මස් අපනයනය කෙරෙන අතර කුකුළු පැටවුන් ද රටවල් ගණානවකට අපනයනය කරනු ලබයි. ඒ මගින් විදේශ විනිමය රටට ලබා දෙන කර්මාන්තයක් වශයෙන් ද මෙම කර්මාන්තය සංවර්ධනය වී තිබේ.

කෙසේ වුවත් ලබන වසරේ සිට කුකුළු මස් මිල ගණන් තවදුරටත් අඩු කළ හැකි බව මෙම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.