Tuesday, October 22, 2024
Follow Us
දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බලයක් හිමි වෙයි

දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් බදු එකතු කිරීමේ බලය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පැවරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

එලෙස බදු එකතු කරන ස්ථානාධිපතිවරුන්ට එම බදු ආදායමෙන් 5%ක් දිරි දීමනාවක් ලෙස ගෙවන්නැයි තමා දැනුම් දී ඇති බවද හෙතෙම කීවේය. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වාණිජ වශයෙන් තීන්දු තීරණ ගැනීමට දෙපාර්තමේන්තුවකට නොහැකි බැවින් දුම්රිය අධිකාරියක් බවට පත් කිරීමට සියලු දෙනා තීන්දු කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය. දුම්රිය ප්‍රතිසංවිධානය කර අධිකාරියක් බවට පත් කිරීමෙන් එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි බව ගුණවර්ධන මහතා කීවේය. එවිට සාමාන්‍යාධිකාරිවරයකු වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමයක් ඇති කර, කාර්යක්ෂම ලාභ ලබන පොදු ප්‍රවාහනය සේවාවක් ලෙස වැඩිදියුණු කළ හැකි බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.