Tuesday, October 22, 2024
Follow Us
සංචාරක කර්මාන්තයට අමාත්‍යාංශයකින් තවත් වැඩපිළිවෙළක්

සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කරගනිමින් පුළුල් සාකච්ඡාවක් පවත්වා දිගු කාලීන මෙන්ම ඵලදායී වැඩපිළිවෙළක් සකස් කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පසුගියා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

දෙස් විදෙස් සංචාරකයින්ට පහසුවන පරිදි වනෝද්‍යාන, පාරිසරික උද්‍යාන හා සංචාරක බංගලා අනෙකුත් ස්ථාන සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් මිලදී ගැනීම හා අනෙකුත් ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් පහසුකම් සැළසීම , ඒ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම, සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතන ඒකාබද්ධ කිරීම එම සාකච්ඡාවේ අරමුණ විය.

එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ දෙස් විදෙස් සංචාරකයන්ට කල්වේලා ඇතිව සංචාරක බංගලා වෙන්කරවා ගැනීම, ජාතික වනෝද්‍යාන, පාරිසරික උද්‍යාන සහ සත්වෝද්‍යාන සඳහා වන ප්‍රවේශපත් මිලදී ගැනීම වැනි දේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එක් තැනකින් සියලු සංචාරක අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක් විය.

එම සියලු අංශයන්හි පහසුකම් සලසා දී වැඩි විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ගෙන්වා ගැනීම මෙමඟින් අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.