Tuesday, October 22, 2024
Follow Us
බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සොයා බැලේ

• බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට කාරක සභාව සූදානම් - සභාපති පාඨලී චම්පික රණවක මහතා


බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට සිය කාරක සභාව සූදානම් බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ අනුව ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය සදහා පියවර ගන්නා ලෙස ද ආදායම් බදු කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස් හපුආරච්චි මහතාට කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා පසුගියදා මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්විය.

‍රජයට ආදායම් ලබා දෙන ප්‍රධානතම ආයතනයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතා හඳුනාගනිමින් රාජ්‍ය බදු ආදායම ඉහළ නැංවීමට සහ බදු ගෙවන්නන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය වී තිබිණි.

ආදායම් බදු එකතු කිරීම සඳහා දැනට භාවිතා කරන RAMIS පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසා සිටි කාරක සභා සභාපතිවරයා පවසා සිටියේ මෙම පද්ධතියේ යාවත්කාලීන වීම් සමග කාර්ය මණ්ඩලයටද නිසි පුහුණුවක් ලබා දීම අත්‍යවශ්‍ය බවයි. එසේම බැංකු පද්ධතිය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය යන ආයතන සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කඩිනමින් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව අවධාරණය කරන ලදී.

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සදහා බදු ලිපිගොනු විවෘත කිරීමට අදාළ දත්ත පද්ධතියක් නිසි පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා විය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංගණනය සමග සම්බන්ධ වී අදාළ තොරතුරු රැස්කොට නිසි දත්ත පද්ධතියක් සැකසීමට පියවර ගන්නා ලෙස ද කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.
මීට අදාළ තොරතුරු තාක්ෂණ විශේෂඥයන් මෙරටින්ම සපයා ගත හැකි බව පෙන්වා දුන් කාරක සභාව රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ හෝ මෙවැනි නිවැරදි දත්ත පද්ධතියක් සහිත ක්‍රමවේදයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. එසේම බදු ගෙවන්නන්ට ලිපි යැවීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන්‍ වෙනුවට ජංගම දුරකථනයට කෙටි පනිවුඩයක් මගින් දැනුම්දීම, ජංගම දුරකථන යෙදවුම් (Mobile App) හදුන්වා දීම වැනි නවීන ක්‍රමවේදයන්ට අනුගතවීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
එසේම ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම, සිදුවිය යුතු අදාළ නෛතික වෙනස්කම් ඇතුළු පවතින බාධා පිළිබදව වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසද උපදෙස් ලබා දීම සිදුවිය.

තවද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) සකස් කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සම්බන්ධ කරගනිමින් වැඩමුළුවක් ද සංවිධානය කරන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රජයේ ආදායම වැඩිකිරීම ඇතුළු සාධනීය පියවරයන් නිර්දේශ කිරීම සදහා වන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අදාළ ආයතන පරිශ්‍රයන් වෙත ගොස් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම විමර්ශනය සිදුවිය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු රැසක් ද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ ලේකම් බුද්ධිකා අබේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.