Tuesday, October 22, 2024
Follow Us
බදු ගෙවන්නේ ලක්ෂ 5න් 31,000ක් පමණයි


• දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට සාකච්ඡා
• බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීමට යෝජනා

මෙර මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 05ක් පැවතිය ද එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම් වල බදු ආදායමෙන් 82%ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.


ජාත්‍යාතර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමේදී සැපිරිය යුතු කරුණු වන රටේ උද්ධමනය, ‍රටේ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම පිළිබඳ දෙවන සමාලෝචනය කිරීම් සිදු කරන දෙසැම්බර් මාසය වන විට ප්‍රශස්ත තත්ත්වයක පවත්වා ගැනීම වැදගත් වන බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන සමග සිය කමිටුව නිරන්තර සාකච්ඡා පවත්වමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බව ද සභාපතිවරයා පැවසීය.
ඒ මහතා මේ කරුණු සඳහන් කළේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (06) රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කළේය. 2023 වර්ෂය සඳහා රජය විසින් ලබා දී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.6 ක මුදල මුල් මාස 6 තුළ 40%ක් ලෙස සහ ඉතිරි මාස 6 තුළ 60%ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිත වූ බවත් මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වන විට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය. එයට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව ද ඒ මහතා පැවසිය.
මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි‍. මෙහිදි සාමාජික මන්ත්‍රීවරු මෙන්ම නිලධාරීන් ද පෙන්වා දුන්නේ මෙරට සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ලබා දෙන දත්ත සත්‍ය ඒවා නොවීම හේතුවෙන් බදු අය කරගැනීමේදී ගැටලුවලට මුහුණ පෑමට සිදු වන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ඉතා ඉක්මනින් සකසා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙරට පෞද්ගලික බදු ලිපිගොනු නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය ද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.