Tuesday, October 22, 2024
Follow Us
පොලී අනුපාත පහළ නොදමන බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ රජය දැඩි අවධානයෙන්

මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමට අනුව යමින් පොලී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බංකුව අනුව යමින් පොලී අනුපාත පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බවයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ ඊයේ (07) පැවැති උත්සවයට එක් වෙමිනි.   

රාජ්‍ය ආදායම් ඉහළ නැංවා ගැනීම පිළිබඳ වාර්තාව ලබන 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන බව අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය. 

රජයට ආදායම් උපයා දෙන ආයතන සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කරන බව හෙතෙම සඳහන් කළේ ය. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තව දුරටත් ජනතාව වෙත කිසිදු නව බදු බරක් ඇති නොකරමින් ආදායම් කළමනාකරණය කිරීම පිළිබඳ යෝජනා ගණනාවක් ඊට ඇතුළත් බවයි. 

බදු ජාලයේ පවතින සිදුරු වසමින් එය පුළුල් කිරීම පිළිබඳ යෝජනා, ආදායම් උපයා දෙන ආයතනවල සේවක ගැටලු ඇතුළු කරුණු රැසක් ද ඊට ඇතුළත් ය. 

මධ්‍යසාර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත ඇදීයාම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආදායම් වැඩි කර ගැනීම සඳහා මිල ඉහළ දැමීම වෙනුවට වෙනත් විකල්ප පිළිබඳ අවධානය යොමුව ඇති බවයි. 

යටකී වාර්තාවට ද එම කරුණු ඇතුළත් කර ඇතැයි සියඹලාපිටිය මහතා කියා සිටියේ ය. 

 

ඉදිරියේ දී ජනතාව මත කිසිදු නව බද්දක් පැනවීමට රජය අදහස් නොකරන බව කී හෙතෙම පෙන්වා දුන්නේ හැකි සෑම අවස්ථාවක දීම ජනතාව බදු බරෙන් නිදහස් කිරීම රජයේ අපේක්ෂාව බවයි. 

බදු දැලෙන් පලා යන පුද්ගලයන් ඊට හසු කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් බදු ජාලයේ සිදුරු 75%ක් වසා දැමීම සිය අපේක්ෂාව බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.