Tuesday, October 22, 2024
Follow Us
“විසුම්පාය” සුපිරි හෝටලයක් කරයි

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි.

ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී අද (07) අත්සන් තැබුහ.

ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) මහතායි.

විසුම්පාය ගොඩනැගිල්ල Azotels Hospitility limited ආයතනය වෙත වසර 50ක බදු පදනම යටතේ පවරා ඇත. Azotels Hospitility limited ආයතනය, හුනාස් හෝල්ඩින් පුද්ගලික සමාගම, ජපානයේ හවුල්කාර කොස්ටියුම් (Consortium) සමඟ මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි පෞරාණිකත්වයට හානි නොවන ලෙස ආයෝජන සඳහා යෙදවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. විසුම්පාය ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් බවට පත් කරන්නේ එම වැඩසටහනේ යටතේයි.
රටේ තිබෙන ආර්ථික තත්ත්වය පදනම් කර ගනිමින් මෙවැනි පෞරාණික ගොඩනැගිලි පුද්ගලික හා පොදු හවුල්කාරීත්වය යන ක්‍රමයට නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වියදම් නොකර සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.

පරිසර හිතකාමී ඉහළ මට්ටමේ බුටික් හෝටලයක් (Boutique Hotel) ලෙස මෙය සංවර්ධනය කෙරෙන අතර මෙහි ඉහළ මට්ටමේ සංචාරකයින් සඳහා නවාතැන් ගැනීම සඳහා සුඛෝපභෝගී කාමරද, පොදු ප්‍රදේශ හා අවන්හල්වලින් සමන්විතය.

1835 අගෝස්තු 24 වන දින උතුමාණන්ගේ විලියම් රජු විසින් යටත් විජිත සමයේදී කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල බොහෝ කලක් යනතුරු ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබුණි. විදේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වී ඇති මෙම ගොඩනැගිල්ල මුලින්ම හඳුන්වනු ලැබුවේ ඇක්ලන්ඩ් හවුස් (Acland House) වශයෙනි. මෙය කොළඹ නගරය මැද පිහිටි පෞරාණික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසද හැඳින්විය හැකිය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මේ අතර මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ ද වෙති. සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් ආදී අමාත්‍යවරුන් වරින් වර මෙම සුවිසල් ගොඩනැගිල්ල එසේ නිල නිවාසය වශයෙන් තෝරාගෙන තිබිණි.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. මේ නිසාම බොහෝ රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ගේ තාවකාලික නවාතැන්පොළ ලෙසද මෙම ඇක්ලන්ඩ් හවුස් ගොඩනැගිල්ල භාවිත විය. ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

විසුම්පාය ගොඩනැගිල්ලේ සුවිශේෂී නිමැවුමට කිසිදු හානියක් සිදු නොවන අයුරින් මෙය සංවර්ධනය කෙරේ.
විසුම්පායේ ගෙමිදුලේ ඇති විශාල ඉඩකඩ එළිමහන් ප්‍රසංග සඳහාත් විවාහ උත්සව සඳහාත් වෙන් කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප්‍රියශාන්ත, Hunas Holding PLC ආයතනයේ සභාපති ධනුක සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.