Tuesday, October 22, 2024
Follow Us
"Air China" ගුවන් සේවය කටුනායකට

චීන ජාතික ගුවන් සේවය වන " එයා චයිනා " (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය , ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි .

මෙම ප්‍රථම මංගල ගුවන් යානය සඳහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු ( Chendu ) නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ජාතික ගුවන් සේවයේ සී.සී.ඒ.- 425 (C.C.A.- 425) දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ සිටියහ .

මින් පසුව මෙම චීන ජාතික ගුවන් සේවයේ ගුවන් යානා පැය පහයි විනාඩි තිහක ගුවන් ගමනක යෙදෙමින් , සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතය .

මෙම ප්‍රථම මංගල ගුවන් යානය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන්ග් ( Qi Zhen Hong ) , චීන ජාතික ගුවන් සේවයේ ආසියා ෆැසිපික් කළාපීය කළමනාකරු ෂූයි ජුන් ( Xue Jun ) යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .