Tuesday, October 22, 2024
Follow Us
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් කඩිනමින් අය කරන්න

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 217 ක් බවත් ජුනි මස වන විට උපයා ඇත්තේ රුපියල් බිලියන 72.985 පමණක් බවත්ය. මේ නිසා බලාපොරොත්තු වන ආදායමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ළඟා වී නැති බව හෙතෙම පැවසීය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මත් පැන් මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය අවම වී ඇත් බවයි. මේ නිසා බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බව එම නිලධාරීන් දත්ත සහිතව පෙන්වා දුන්නේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ වසර කිහිපයක සිටම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වී නැති බවයි. මේ නිසා මත් පැන් මිල වැඩිවීම හේතුවෙන් පමණක් ආදායම අවම වී ඇති බව නිරීක්ෂණය නොවන බවයි. එබැවින් මෙරට පවතින මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැදිව බදු අයකරගැනීමට කටයුතු කරන ලෙසයි. යම් ආකාරයකින් බදු ගෙවීම පැහැර හරින නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසි කරීමටද ඒ මහතා උපදෙස් ලබාදුන්නේය.

එසේම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වීමේ අවශ්‍යතාවද අලුත්ගම‌ගේ මහතා පෙන්වා දුන්නේය. මෙහිදී මෙම ආයතනය වසර 110 අතීතයක් සහිත ආයතනයක් බවත් තවමත් මෙම ආයතනය ඩිජිටල්කරණය නොවීම දුර්වලතාවක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මත්පැන් නිෂ්පාදනාගාරවලදී සෑම මත්පැන් බෝතලයකටම ස්ටිකරයන් අලවන්නේදැයි පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකස්කිරීමටද මෙහිදී කාරක සභාව උපදෙස් ලබාදුන්නේය. මෙහිදී සඳහන් වූයේ ස්ටිකර් රහිතව මත්පැන් බෝතල් වෙළඳ පොළට නිකුත් වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවයි. මේ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එසේම ස්ටිකරය රහිතව මත්පැන් අලෙවිකරන මත්පැන් අලෙවිසැල් වල මත් පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙසද අලුත්ගමගේ මහතා උපදෙස් දුන්නේය. තවද මත්පැන් නිෂ්පාදනාගාරවලට ලබාදෙන මූඩි ප්‍රමාණය සහ නිෂ්පාදනාගාරවලින් බෙදාහරින් බෝතල් ප්‍රමාණය පිළිබඳ පරීක්ෂාකොට අක්‍රමිකතාවන් සිදු වන්නේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටද උපදෙස් ලබාදුන්නේය.

එසේම මත්පැන් නිෂ්පාදනාගාරවල සේවයේ සිටින සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් දීර්ඝකාලීනව එම සමාගම්වල සේවයේ සිටින නිසා දූෂණ සහ අක්‍රමිකතා සිදු වන බවට නිරීක්ෂණය වන බවත් මේ නිසා මෙම නිලධාරීන් කාලානුරූපීව හුවමාරු කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබාදුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්‍යකසෂමතාව වැඩිකරගැනීමට අවශ්‍ය, අතරමග නැවතී ඇති නීති සහ රෙගුලාසි මෙම කමිටුවට දැනුවත් කිරීමටත් කාරක සභාවේ සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

මේ අනුව මෙම සාකච්ඡා කළ කරුණුවලට අදාළව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩිකරගැනීමට අවශ්‍ය සැලසුම් දක්වමින් සති දෙකක් ඇතුළත මෙම කමිටුවට වාර්තාවක් ලබාදීමට මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිර්දේශ කළේය.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂන රාජකරුණා,ගුණතිලක රාජපක්ෂ, නිපුන රණවක, සුදත් මංජු යන මහත්වරු සහභාගී වූහ.