Tuesday, October 22, 2024
Follow Us

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යළි ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති යෝජනා රට යටත් කර ගැනීම සඳහා නොව ආර්ථික යටත් විජිතයක් බවට පත්වීම වැළැක්වීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ සඳහා වන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමට රජය සූදානම් බවයි. අද පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
අලුතෙන් බදු එකතු කිරීම වෙනුවෙට බදු පදනම පුළුල් කිරීමේ කටයුත්ත රජය සිදු කරමින් සිටින බවත් එමගින් රටේ සියලු දෙනාගෙන් බදු අය කිරීම වෙනුවෙන් හැකියාව ඇති කණ්ඩයමෙන් පමණක් බදු අය කිරීම සිදු කර ගත හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.
2022 වසරේ දී 80% - 20% අනුපාතයේ පැවැති වක්‍ර සහ ඍජු බදු අනුපාතය මේ වන විට 70%-30% දක්වා වෙනස් වී තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් ඇති කාණ්ඩ 14 යටතේ නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සාර්ථක වුව හොත් 2023 අග වන විට මෙම අනුපාතය 60%-40% මට්ටමට රැගෙන ඒමට හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
උද්ධමනය පහළ මට්ටමට රැගෙන ඒම, විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 දක්වා ඉහළ යාම ආර්ථිකය යහපත් වෙමින් ඇති බවට සලකුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් විශ්වාසයක් ලෝකයට ඇති වෙමින් පවතින බවයි. මෙවර භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියේ දී ලැබුණු ආයෝජන ඊට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.