Tuesday, October 22, 2024
Follow Us
ආර්ථික අර්බුදය සමනය කිරීමේ සාකච්ඡාවක්

තොරතුරු තාක්ෂණ සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ ඒ ඒ ක්ෂේත්‍රවල පවතින ගැටලු සහ ඒ සඳහා ගත හැකි විසඳුම් ක්‍රියාමාර්ග පිලිබඳව පුළුල් සාකච්ඡාවක් පසුගියදා (09) ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සිදු විය.

බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පසුබෑමක්

මෑතකාලීනව හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමට පෙළඹී සිටින බවත්, තොරතුරු තාක්ෂණ සමාගම් රාශියක් වෙනත් රටවල් වෙත සිය ව්‍යාපාර කටයුතු ගෙන යාමට උත්සාහ කරන බවත් මෙහි දී හෙළි විය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් සපයන සේවා ක්ෂේත්‍රයකි. 

2019 වසරේ දී එමගින් උත්පාදනය කළ ආදායම ඇ.ඩො. බිලියන 1.5 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක දායකත්වයකි. 

මෙම ආදායම තවත් ඉහළ නංවා ගැනීමේ ඉහළ භව්‍යතාවයක් පවතී. 

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙත ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී. 

ඉන්දීයාවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය 8% ක තරම් ඉහළ අගයකි. 

එවැනි ඉහළ ආදායම් උත්පාදන තත්ත්වයක් වෙත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීම පිළිබඳ යෝජනාවලියක් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කමිටුවට ඉදිරිපත් කරන ලදි.