Tuesday, October 22, 2024
Follow Us
වාහන ආනයනයට ඉඩදිය යුතු හේතුව රේගුව කියයි

වාහන ආනයනය නැවත්වීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව රේගු නිලධාරීන් පවසයි.

ඒ, පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය.

එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පැවසුවේ ශ්‍රී ලංකා රේගුවේ මේ වසරේ අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 1226ක් බවත්, ගතවූ මාස 4 තුළ රේගුවේ ආදායම බිලියන 221ක් බවත්ය.

එම සභාවේදි අදහස් දක්වමින් රේගු නිලධාරියෙකු පැවසුවේ දැනට එන ආනයන වලින් එම ඉලක්කයට ළගාවිය නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු නිලධාරිවරයා,

 "ඒක දැනට එන ආනයන වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙතෙක් වූ ට්‍රෙන්ඩිස් බලලා අපි ප්‍රිඩික්ෂන් එකක් දුන්නා අපිට ගන්න පුළුවන් ආදායම මෙච්චරයි කියලා. ඒ ප්‍රමාණය අපි මේ මාස පහේ එකතු කරලා තියෙනවා රු. බිලියන 330ක් . මේ බදු ප්‍රතිපත්තිම නම් තියෙන්නේ බිලියන 783ම තමයි පුළුවන්.

රුපියල් බිලියන 1220ක ඉලක්කයට ළගා වෙන්න වාහන ආනයනය නැතුව කොහෙත්ම බැහැ. ඇත්ත කතාව ආනයන වෙන්න ඕන වෙළෙදපොළේ භාණ්ඩ විකුණුනොත් තමයි ජනතාව ආනයනය කරන්නේ.

වාහන ආනයනය නැවැත්වීමෙන් 20%ක් ආදායම අහිමි වෙනවා. වාහන ආනයනයට නැවත ඉඩ දිය යුතුයි. නමුත් බදු අපි වෙනස් කරන්නේ නැහැ. අවුරුදු 5ක් පරණ වාහන හෝ ඉලෙක්ට්‍රික් වාහන වුණත් ආනයනයේදි එහි ධාරිතාවය බලා බදු අය කරගත යුතුයි."

ඊට පිළිතුරු ලබාදෙමින් තික ආර්ථික හා භෙ@තික සැළසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පැවසුවේ රජය ඒ පිළිබදව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවයි.

-Aruna