Wednesday, October 23, 2024
Follow Us
ආර්ථික ප්‍රතිසංස්කරණයට IMF ඇගයීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි සාධනීයත්වය IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා ඇගයීමට ලක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වන IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා අද (31) මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිසක් හමුවෙමින් මෙසේ ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීමත් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ පැහැදිලි වෙනස මෙන්ම, මෙරට ආර්ථික යථාවත් කිරීම සඳහා අවශ්‍ය අසීරු ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට ජනතාව විසින් සිය සහයෝගය ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වීය.

එමෙන්ම ජනතාවට සුබසාධනය සලසමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති විනිවිදභාවයෙන් යුත් සමාජ සුබසාධන හා සමෘද්ධි වැඩසටහන සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් තුළ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුමත කළ විස්තීරණ ණය වැඩසටහනේ ප්‍රගතිය හා අභියෝග පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා, දිගුකාලීන ආර්ථික වර්ධනයක් සදහා විවිධාංගීකරණය වූ ආර්ථිකයක අවශ්‍යතාවය පෙන්වා දෙමින්, ඒ සදහා ව්‍යාපාරික පරිසරය වර්ධනය කිරීම, මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී නීති හදුන්වාදීම ඇතුළු කරුණුවල වැදගත්කම පිළිබඳව ද පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඹකොමුරා මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය තුළ මෙරට ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට ද හැකියාව ලැබෙනු ඇතැයි නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම මෙතෙක් සිදු කරන ලද ආර්ථික ස්ථායීකරණ වැඩසටහන තුළ තවත් ඉදිරි ගමනක් ශ්‍රී ලංකාවට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.