Wednesday, October 23, 2024
Follow Us
 ජුනි 15 සිට ගොවීන්ට තවත් සහනයක්

ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද (31 ) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.


ජුනි මස 10- 12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිතය.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය යල කන්නය වනවිට පුද්ගලික අංශය විසින් රු.42,000කට අලෙවි කළ යූරියා පොහොර මිටියක් මේ වනවිට පුද්ගලික අංශය විසින් රු.11,000 දක්වා මිල පහත දමා තිබේ. මීට හේතුව වූයේ රජය විසින් යූරියා පොහොර මිටියක් රු.10,000 දක්වා අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමය.

මේ අතර, පසුගිය මහ කන්නයේ රු. 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල රජය විසින් මෙම යල කන්නයේදී රු. 15,000ක් දක්වා රු.4500කින් පහත හෙළනු ලැබීය.

රජය විසින් මෙම සියලු සහන සලසනු ලබන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.