Wednesday, October 23, 2024
Follow Us
අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන කෝටාව ඉහළට

ජාතික ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දැමෙන අතර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ලීටර 08ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ නංවා තිබෙන බවයි.

ලීටර 30ක්ව පැවති මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දමා ඇති අතර වෑන් රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර 30 සිට ලීටර 40 දක්වා ඉහළ දමා තිබේ.

ඊට අමතරව ලීටර 60ක්ව පැවති බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ දමා තිබෙන අතර ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.