Wednesday, October 23, 2024
Follow Us
හම්බන්තොටට රු.කෝටි 40ක් වවුචර්පත් බෙදා දෙයි

යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයට රුපියල් කෝටි 40ක වවුචර්පත් බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

2023 යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 1000ක් වෙන් කරනු ලැබ තිබේ.

මෙම මුදල් ගොවීන් හයලක්ෂ පනස් දහසකට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් වවුචර්පත් මගින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන්ට වවුචර්පත් ප්‍රදානය කිරීම ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී ගොවීන් සදහා රුපියල් මිලියන 400ක වවුචර්පත් බෙදාදීමට පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ ඊයේ බදගිරිය, ලුනම, යෝදකණ්ඩිය හා වීරවිල යන ගොවිජන බල ප්‍රදේශවල ගොවි ජනතාවට වවුචර්පත් බෙදාදීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම පොහොර වවුචරවලින් රසායනික පොහොර හෝ කාබනික පොහොර රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් මිල දී ගත හැකි බව අවධාරණය කළේය. එමෙන්ම රසායනික පොහොර මිල දී ගැනීමේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා ගොවිජනතාවගෙන් ඉල්ලිමක් කළේය.

යුරියා පොහොර කෙතරම් යෙදුවත් අස්වනු සරු නොවේ. ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් MOP හෙවත් මඩපොහොර යෙදීම අනිවාර්ය බව කෘෂි විශේෂඥයින් අවධාරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය