Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ වී වගාවට ජපානයෙන් ඩොලර් මිලියන 4.6ක්
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල පිහිටි තෝරාගත් දිස්ත්‍රික්කවල කුඩාපරිමාණ වී ගොවීන්ගේ නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් 4,629,629ක් පිරිනමයි. 
 
කුඩාපරිමාණ වී ගොවීහු ප්‍රධාන වශයෙන් තම පරිභෝජනය සඳහා සහල් වගාකරන අතර ඔවුන් වඩාත් අවදානමට ලක්විය හැකිය. නොකඩවා කන්න දෙකකදී පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්නේ සැලකියයුතු ලෙස පහත වැටීමක් සිදුවූ අතර සමහර ගොවීන් තම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා සෘණාත්මක හැඩගැසීම් (උකස්කිරීම,ණයගැනීම,ඉතුරුම් වියදම් කිරීම යනාදිය) අනුගමනය කිරීමට පෙළඹුණි. 
 
වියළි හා අතර මැදිකලාපවල හඳුනාගත් දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකක් දක්වා ඉඩම්වල වගා කරන කුඩා පරිමාණ සහල් ගොවීන් 250,000 කට පමණ ඉදිරි මහකන්නය සඳහා යූරියා පොහොර කිලෝග්‍රෑම්50 දක්වා මෙම වැඩපිළිවෙළ හරහා ලැබෙනු ඇත. 
 
එම පොහොර කිසිදු වියදමකින් තොරව බෙදා හරින අතර එය බෙදාහැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහය වේ. 
 
නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා පොහොර ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව කුඩා පරිමාණ වී ගොවීන් දැනුවත් කිරීමක්ද මෙම මුල පිරීම මගින් සිදුකෙරේ. 
 
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝශි හිදෙයිකි මහතා වැඩපිලිවෙල සම්බන්ධයෙන් මෙසේ පැවසීය. “විදේශ විනිමය හිඟය හේතුවෙන් හිඟව පවතින පොහොර ලබා ගැනීම සඳහා තවදුරටත් මානුෂීය ආධාර ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙම ආධාරය ආහාර නිෂ්පාදන ධාරිතාව පූර්ව අර්බුද මට්ටම්වලට ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාරීවනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා පරිමාණ වී ගොවීන්ට වඩා හොඳ ජීවනෝපායක් සහ සියලුම ලාංකිකපුරවැසියන්ට අත්‍යවශ්‍ය ආහාර සඳහා ස්ථාවර ප්‍රවේශයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.“