Wednesday, October 23, 2024
Follow Us
රැකියා විරහිත තරුණයින් සහන පොලී යටතේ ණය

වගා කටයුතු සදහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩපිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබා දීම සදහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි නිලධාරින්ට උපදෙස් දී තිබේ.


ඒ අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන හෙවත් SAPP ව්‍යාපෘතිය මගින් තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම සඳහා අදාළ සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කළේය.

මෙම වැඩපිළිවෙළ යටතේ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50කට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සහන ණය වැඩසටහන යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිටින කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට ද තමන් කැමැති සුදුසු වගාවක් සඳහා හෝ සත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත් වැඩසටහන හෙවත් SAPP ව්‍යාපෘතිය පවසයි.

 එමෙන්ම කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන හෙවත් SAPP ව්‍යාපෘතිය මගින් ණය මුදල් ලබා ගන්නා තරුණ තරුණියන්ට අදාළ වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය, උපදෙස්, අධීක්ෂණය හා තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය වෙළෙද පොල ද සම්පාදනය කර දෙනු ලබයි.
විශේෂයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන මගින් හැකි තරම් අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කළ හැකි කෘෂිකාර්මික බෝග, එළවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.


මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ණය මුදලක් ලබා ගැනීම ගැටලුවක් නොවන බවත්, ණයකරුවෙක් නොවී එම මුදල් ඵලදායි ලෙස යොදා ගනිමින් කෙටිකාලයක් තුළ තමන් සාර්ථක වීමට නම් උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය. බැංකුවල අසාදු ලේඛනගත නොවී බැංකු සමග ගනුදෙනු කරන විශ්වාසය දිනාගත් හොඳ ගනුදෙනුකරුවෙක් වීමට උත්සාහ කරන ලෙස ද අමාත්‍යවරයා ණය ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.